සෑම ගමකම පැතිරී යන මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට පොලිසිය හමුදාව ඇතුළු සියලු රාජ්‍ය ආයතන ශක්තිමත් කරමින් මෙරටට ඇතුළුවන මත්ද්‍රව්‍ය ජාලය කඩාකප්පල් කර විනාශ කිරීමේ කාර්යය ආරම්භ කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) පැවසීය.
පොලිස් විශේෂකාර්ය බළකායේ 35 වන සැමරුම සහ 74 වන සේනාංකය විසිර යාමේ උත්සවයට එක්වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ලෝකයේ හොඳම පොලිස් සේවයක් ලෙස එක්සත් ජාතීන්ගේ සාම හමුදාව පවා පිළිගෙන ඇති මෙරට පොලිස් විශේෂ කාර්ය බළකායේ දායකත්වය ඊට ලබාදෙන ලෙසත් පොලිසියේ ගෞරවය හා අභිමානය සුරකින ලෙසත් අගමැතිවරයා එහිදී ආධුනික පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.
ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා ඇතුළු පිරිස ඇමතූ අගමැතිවරයා මෙසේ ද පැවසීය.
මෙරට පොලිස් සේවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කළ වත්මන් ආණ්ඩුව 2015 සිට පොලිසියට අවශ්‍ය සියලු මුදල් හා ආධාර උපකාර ලබාදී තිබෙනවා. පසුගිය වසර දෙකහමාර තුළ ඉටුකළ සියලු ක්‍රියාදාමයන් මගින් ශ්‍රී ලංකා පොලිසිය ලෝක පිළිගැනීමට ලක්ව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සම හමුදාවේ වැඩවලට ඔබලාව යොදා තිබෙන්නේ ඒ නිසයි. පොලිසිය නවීකරණය කරන්න යල්පැනගිය නීතිරීති ප්‍රතිසංවිධානය කරන්නත් නිලධාරීන්ගේ සුබසාධනය වැඩි කරන්නත් වත්මන් රජය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙනවා. පොලිසියේ වගකීම් මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට ලබා දෙන්නැයි ඉල්ලනවා. පොලිසිය, හමුදාව, නාවික හමුදාව, සෞඛ්‍ය අධ්‍යාපන හා යෞවන කටයුතු අමාත්‍යංශය රේගුව ද මීට එක්විය යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන තදින් සිටිය යුතුයි යැයි ද අගමැතිවරයා කීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වෙනි සැමරුමට සමගාමීව පැවැති ආධුනික නිලධාරීන්ගේ විසිරයාමේ 74 වන මූලික පුහුණු පාඨමාලාවේ ආධුනික පොලිස් නිලධාරීන් විසිරයාමද පැවැත්විණි.
පොලිස් විශේෂකාර්ය බළකා රාජකාරිය සඳහා විසිරයන ආධුනික පොලිස් කොස්තාපල් නිලධාරීන් 169 දෙනෙකුගේ විශේෂ පෙළපාලි හා සංදර්ශනය ද මෙහිදී පැවැත්විණි.