මැතිවරණය හේතුවෙන් කල්දැමූ සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාස දෙක තුළදී පවත්වා දිවයිනේ සියලු උපාධිධාරින්ට රැකියා ලබාදීමේ කටයුතු ඉදිරි මාස 06 තුළ කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ප්රදානය කිරීම වෙනුවෙන් ඊයේ (03) පස්වරුවේ මඩකළපුව, වෙබර් ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.
උපාධිධාරීන් දෙසීය දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරින් හතළිස් දෙදෙනෙකුට මෙහිදී ගුරු පත්වීම් ප්රදානය කෙරුණු අතර, එය සංකේතවත් කරමින් 21 දෙනෙකුට පත්වීම් ප්රදානය ජනාධිපතිතුමා අතින් සිදුවිය.
නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලසුම් තුළින් අධ්‍යාපන ක්රමයේ යම් යම් වෙනස්කිරීම් සිදු කිරීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මෙරට පවතින අධ්‍යාපන ක්රමයේ අඩුපාඩු හේතුවෙන් රටට සම්පතක් වන උපාධිධාරීන් ද විරෝධතා කිරීමට පෙළඹී ඇති බව කියා සිටියේය.
නැගෙනහිර පළාතේ ගුරු වෘත්තියේ මෙන්ම අනෙකුත් රාජ්‍ය සහ පළාත් ආයතනවල පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
දීර්ඝ කාලයක් පුරා උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුදමය තත්ත්වය හේතුවෙන් අඩාල වූ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායන් දෙකක් පිහිටුවීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සහය අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කරන ලදී.
එමෙන්ම දැනට නැවතී ඇති නැගෙනහිර පළාතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව සොයා බලන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
නැගෙනහිර පළාතේ පාසල්වල විද්‍යාගාර සඳහා අවශ්‍ය උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහන යටතේ පාසල් 03 ක් සඳහා උපකරණ කට්ටල ප්රදානය මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, රාජ්‍ය අමාත්‍යවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ශ්‍රීයාණි විජේවික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අලී සහිර් මවුලානා, නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, ප්‍රධාන ලේකම් සරත් අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මින් අනතුරුව මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.
මේ අතර මඩකලපුව ශ්‍රී මාමාංග ඊෂ්වර කෝවිල වෙත ද ගිය ජනාධිපතිතුමා එහි පැවති ආගමික වතාවත්වලට සහභාගීවී ආශීර්වාද ලබාගත්තේය.
කෝවිල අසළ ඇති මාමාංග වැව මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වූ අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් දුන්නේය.
අනතුරුව ආණ්ඩුකාර නිල නිවස වෙත ගිය ජනාධිපතිතුමා එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.
නැගෙනහිර පළාත් උපාධි ගුරු පත්වීම් ප්රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
2018.03.03 වන දින මඩකලපුව, වෙබර් ක්‍රීඩාංගණයේදී
මීට මාසයකට පෙරත් මම මඩකලපුවට පැමිණියා. ඒ අවස්ථාවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් මා වෙත ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. මම එදා මඩකලපුවේ සිට පොළොන්නරුවට යන අතරවාරයේදීම ආණ්ඩුකාරතුමාට කතා කරලා කිව්වා මැතිවරණය අවසන් වූ වහාම මේ ප්රශ්නය විසඳන්න ඕනෑ. මේ අයට පත්වීම් දෙන්න ඕනෑ කියලා.
ආණ්ඩුකාරතුමා කතා කළේ නැගෙනහිර පළාතේ ප්‍රශ්න පමණයි. ඒ එතුමා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමා නිසා. නමුත් මම මේ ප්‍රශ්න පිළිබඳව කතා කරන විට නැගෙනහිර පළාතට පමණක් සීමා වෙන්න බැහැ. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්රශ්නය මුළු රටටම පොදුයි. මීට මාස හතරකට පමණ පෙර උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා අප අයදුම්පත් කැඳෙව්වා. නමුත් මැතිවරණයකට මුහුණ දෙන්න සිවදුුණු නිසා ඒ අයදුම්පත් කැඳවූවන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා දිවයිනේ සියලු රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ඉදිරි මාසයක් දෙකක් ඇතුළත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. රජය විසින් ඒ කටයුත්ත කරනවාට අමතරව තමයි පළාත් සභා විසින් මේ විදියට පත්වීම් දෙන්නේ. පළාත් සභාවලින් දෙන පත්වීම් වගේම රජය විසින් දෙන පත්වීම් ඉදිරි මාස 06 ඇතුළත සම්පූර්ණ කරන්න මා බලාපොරොත්තු වෙනවා. දැනට තිබෙන පුරප්පාඩු පිළිබඳවත් අවධානය යොමුකරමින් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදෙන්න මේ අනුව කටයුතු කරනවා.
අද මඩකලපුව දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මට ලිපියක් දුන්නා. මෙම රැකියා විරහිත උපාධිධාරීන් පළාත් රාජ්‍ය සේවා කොමිසම හමුවී කරන ලද සාකච්ඡාවක් සම්බන්ධයෙන්. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් රැකියා නොමැති උපාධිධාරීන් හමුවේ කරන ලද ප්‍රකාශ එහි සඳහන් වෙලා තිබෙනවා. පළාත් රාජ්‍ය සේවා කොමිසම කර ඇත්තේ ඔවුන්ට අයත් රාජකාරියක් නොවෙයි. ඔවුන් කර ඇත්තේ බරපතළ වැරැද්දක්. පළාත් රාජ්‍ය සේවා කොමිසමට එවැනි ප්‍රකාශයක් කරන්න කිසිසේත් අයිතියක් නැහැ. ඒවගේම ඔවුන් මෙවැනි සාකච්ඡා කිරීමත් වැරදියි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය කොමිෂන් සභාව හමුවූ අවස්ථාවේ කොමිෂන් සභාවට කරුණු දෙකක් ඉටුකරන්න තිබුණා. පළවෙනි කාරණය තමයි මේ ප්රශ්නය කොමිසම විසින් සාකච්ඡා නොකර ආණ්ඩුකාරතුමාට හෝ වෙනත් ඇමතිවරයෙකුට හෝ අමාත්‍යාංශ ලේකම්වරයෙකුට යොමු කිරීම. දෙවෙනි කාරණය තමයි මේ කාර්යය ඔවුන්ට අයිති නැති වෙනත් වගකීමක් දරන ආයතනයක් සඳහා අයිතියි කියන කාරණය පැහැදිිලි කිරීම. මම ආණ්ඩුකාරතුමාට උපදෙස් දුන්නේ මේ කොමිෂන් සභාව වහාම විසුරුවා හැරිය යුතුයි කියලා. මේ කොමිෂන් සභාවේ අවුරුදු 14 ක් විතර එකදිගට වැඩ කරන අය ඉන්නවා කියලා මට දැන ගන්න ලැබුණා. කොමිෂන් සභාවේ පත්වීම් අවුරුදු 03 ක් හෝ 05 කට වෙනස් වෙන්න ඕනෑ. ඒ ගැන විශේෂයෙන්ම මම ආණ්ඩුකාරතුමාට උපදෙස් දුන්නා. නැගෙනහිර පළාත විදියට පළාත් සභාව විසින් දෙනු ලබන උපාධිධාරී පත්වීම් සඳහා මුදල්වල යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ මුදල් ගෙවීමට මම කටයුතු කරන බවත් මෙහිදී සඳහන් කළ යුතුයි.
අද මෙහිදී ලබා දෙන්නේ ගුරු වෘත්තිය සඳහා පත්වීම්. ගුරු වෘත්තියට ඇරෙන්න අනිකුත් රාජ්‍ය සේවා තනතුරු දීමට හැකියාව තිබෙනවා. ඒ අනුව ඒ වැඩපිළිවෙළ ඉක්මනින් ක්‍රියාත්මක කරන බව මෙහිදී මා වැඩිදුරටත් සඳහන් කරනවා.
උපාධිධාරියෙක් කියලා කියන්නේ රටේ ජාතික සම්පතක්. ඔවුන්ගේ උගත්කමින් රටේ සංවර්ධනය සඳහා ප්‍රයෝජන ගන්නට ඕනෑ. රටේ අනාගතය සඳහා ඔවුන්ගේ දැනුම ඉතාමත් වැදගත්. නිදහස් අධ්‍යාපනයේ වරම් ලබමින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඉන් පිටවනතුරුම අධ්‍යාපනය ලබන්නේ ජනතාවගේ මුදල්වලින්. ඒ නිසා ඒ අයට රැකියාදීම රජය විසින් කළ යුතු කාර්යයක්. උපාධිධාරීන්ට රැකියා නොමැතිව නොයෙකුත් උද්ඝෝෂණ, උපවාස කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒක උපාධිධාරීන්ගේ වැරැද්දක් නොවෙයි. ඒක අපේ අධ්‍යාපන ක්රමයේ වැරැද්දක්. ඒ ක්‍රමය වෙනස් කරන්න රජය විසින් අධ්‍යාපන ප්‍රතිපත්ති සැලසුම් මේ වනවිටත් වෙනස් කරමින් තිබෙනවා. තව අවුරුදු තුන හතරක් යන විට ඒ නව අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම්වල ප්‍රතිඵල ලැබෙනවා.
ලෝකයේ බොහෝ රටවල්වල රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගන්නේ ඒ රටට අවශ්‍ය උපාධිධාරීන් ප්‍රමාණයට පමණයි. බොහෝ වෙලාවට එම රටවල්වල ද්විතියික අධ්‍යාපනයේදි සිදුකරන්නේ වෘත්තිය අධ්‍යාපනයට, නිපුණතා සංවර්ධනයට යොමු කිරීමයි. රටට අවශ්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව පමණක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නවා. අපේ රට තවම ඒ තත්ත්වයට පත්වෙලා නැහැ. රජයක් විදියට අපි ඒ සඳහා කටයුතු කරනවා.
ගුරුවෘත්තිය කියන්නේ අනිකුත් වෘත්තීන්ට වඩා වැදගත් වෘත්තියක්. ගුරුවරයෙක් ඉටු කරන්නේ අනිත් රාජ්‍ය සේවකයින්ට වඩා වෙනස් කාර්යයක්. ලෝකයේ බොහෝ විශිෂ්ට විද්‍යාඥයින්, විද්වතුන්, කලාකරුවන්, දේශපාලනඥයින් බිහි වී තිබෙන්නේ මව් කුසින් නොව පාසැල් තුළින්. ගුරු වෘත්තියේ යෙදී සිටින සෑම කෙනෙකුගේම චරිත ඉතාමත් ආදර්ශවත් විය යුතුයි. ගුරුවරයෙක් සෑමවිටම තම සිසුන් දෙස ඉතාම ආදරයෙන් සහ සෙනෙහෙබරව බලනවා. ගුරුවරයෙක් සැමටවිම සිසුවෙකුගේ චරිත ලක්ෂණ හොඳින් අධ්‍යයනය කරනවා. ඒවගේම ගුරු වෘත්තියේ සිටින සෑම කෙනෙක්ම අමතක නොකළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි සිසුන් සැමවිටම ගුරුවරයාගේ චරිත ලක්ෂණ පිළිබඳ නිහඬ අධ්‍යයනයක යෙදෙන බව. මේ දරුවන් ගුරුවරයාගේ ඇඳුම දෙස වගේම කන බොන ආකාරය පිළිබඳවත් සැලකිල්ලෙන් බලන අවස්ථා තිබෙනවා. ගුරුවරු පරිශීලනය කරන පොතපත සම්බන්ධයෙනුත් දරුවන්ගේ අවධානය යොමු වෙනවා. ඒ නිසා ඔබ සෑමවිටම ආදර්ශවත් ගුරු ජීවිතයක් ගත කළ යුතුයි.
මම මඩකලපුව සහ නැගෙනහිර පළාතේ අනිකුත් සංවර්ධන කටයුතු පිළිබඳවත් කෙටියෙන් යමක් ප්‍රකාශ කරන්න කැමතියි. ආණ්ඩුකාරතුමා මා සමග කිව්වා මඩකලපුව දිස්ත්‍රික්කයෙත් නැගෙනහිර පළාතෙත් මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන ව්‍යාපෘතියේ කටයුතු නැවතිලා තිබෙන බව. නමුත් ඒ ව්‍යාපෘතිය අනුමත වෙලා තිබෙනවා කියලා. හිස්බුල්ලා ඇමතිතුමත්, අමීර් අලි ඇමතිතුමත් මා සමග පැවසුවා. අනුමත වුණු මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ඇයි ප්‍රමාද වෙලා තිබෙන්නේ කියලා මම හෙටම කොළඹ ගිහිල්ලා සොයා බලනවා. ඒ අනුව ඉදිරියේ දී ඒ කටයුතු කඩිනම් කරන්න කටයුතු කරනවා.
ඒ වගේම මෙවැනි උත්සවවලට පැමිණියාම එක් එක් ප්‍රශ්න පිළිබඳව ලියුම් ලැබෙනවා. රැකියා, ඉඩම්, නිවාස, මාර්ග, පානීය ජලය වැනි රටේ සෑම පළාතකටම පොදු ප්‍රශ්න තමයි මේ ලියුම්වල වැඩිපුරම සඳහන් වෙලා තිබෙන්නේ. ප්රශ්නවල ස්වභාවය පළාත් වශයෙන් වෙනස් වෙලා නැහැ. එහි තිබෙන වෙනස තමයි ප්රශ්නවල අඩු වැඩිවීම. බස්නාහිර පළාතේ මෙවැනි ප්‍රශ්න අඩුයි. සබරගමුව පළාතෙත් මෙවැනි ප්‍රශ්න අඩුයි. මෙවැනි ප්‍රශ්න වැඩියෙන්ම තිබෙන්නේ පළාත් නවයෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකේ. ඒකට හේතුව තමයි දීර්ඝ කාලයක සිට තිබුණ යුද්ධය නිසා මේ ප්‍රදේශවල සංවර්ධනය පසුබෑමට ලක්වුණා. දුප්පත්කම වැඩිවුණා. ඒ නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට රජය විදියට වැඩි ප්රමුඛත්වයක් දෙනවා. ප්‍රධාන වශයෙන්ම උතුරේ සහ නැගෙනහිර සංවර්ධන කටයුතු කාර්යක්ෂම කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායන් දෙකක් පිහිටුවන්න මම බලාපොරොත්තු වෙනවා. සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන මැතිඇමතිවරුන්ගෙන් මම ඒ සඳහා සහයෝගය ඉල්ලා සිටිනවා. අපි ජාතීන් අතර සමගිය ශක්තිමත් කරන්න සැමවිටම කටයුතු කරනවා. ජාතික සමගිය සහ සංහිඳියාව ඇතැම් අය උපහාසයට අපහාසයට ලක් කරනවා. එසේ කිරීම බරපතළ ජාතික අපරාධයක් සහ ජාතික ඛේදවාචකයක්.
පසුගිය දිනවල අම්පාරේ සිදුවූ සිදුවීම ඉතාමත් කනගාටුදායකයි. පන්සලකට වේවා, පල්ලියකට වේවා කෝවිලකට වේවා එවැනි පූජනීය ස්ථානයකට පහරදීම සම්පූර්ණයෙන් වැරදියි. මේ ඕනෑම වැරැද්දක් කරන කෙනෙකුට ජාතිය, කුලය, ආගම නොසලකා නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. එහෙම නැතිනම් සිදුවන්නේ මේ රටේ ජාතීන් අතර අසමගියක් ඇති වෙලා නැවත ගැටුම් ඇති වෙන එක. අපි සෑම කෙනෙක්ම ඒ සඳහා කැප වෙන්න ඕනෑ. අපි සෑම කෙනෙක්ම අපේ වගකීම ඉටු කරන්න ඕනෑ. මම ඒ සඳහා කැප වී සිටිනවා. මගේ වගකීම ඒ වෙනුවෙන් මම ඉෂ්ට කරනවා. මම දකින සිහිනය තමයි මේ රටේ සියලු ජාතීන් සියලුදෙනා එකට සමගියෙන් ජීවත්වෙන සමාජයක් ගොඩනැගීම. ඒ සිහිනය සැබෑ කර ගත්තේ නැත්නම් මේ රට විනාශ වෙනවා. සෑම අංශයකම ඉන්න අන්තවාදීන් මෙය දැනගත යුතුයි. සාමාන්‍යයෙන් පසුගිය අවුරුදු කීපය ගත් විට සෑම අවුරුද්දකම මාර්තු මාසය නැත්නම් සැප්තැම්බර් මාසයට ආසන්නව ජාතීන් අතර අසමගිකම් ඇතිවෙන ආකාරයේ සිදුවීම් මේ රටේ ඇති වෙනවා. ඒවා සිදුකරන්නේ සැලසුම් සහගතව. ඒවා අන්තවාදීන්ගේ කටයුතු. මාර්තු මාසයේ සහ සැප්තැම්බර් මාසයේ තමයි ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ කටයුතු සාකච්ඡා කරන්නේ. ඒ නිසා තමයි අන්තවාදී පිරිස් ගෙවී ගිය අවුරුදු කිහිපය තුළ සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව මේ සිදුවීම් අැති කළේ. ඔවුන්ගේ බලාපොරොත්තුව රජය අපහසුතාවයට පත් කිරීමයි. නමුත් සිදුවන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එයින් සිදුවන්නේ රට විනාශ වීමයි. මෙවැනි සිදුවීම්වලින් ජාත්‍යන්තර වශයෙන් අපිට තිබෙන පිළිගැනීම නැතිව යනවා.
පසුගිය අවුරුදු කිහිපය තුළ මම කටයුතු කළේ මේ අහිමිවී ගිය ජාත්‍යන්තර සහයෝගය නැවත ලබාගන්න. ඒ පිළිබඳව ඇතැම් දේශපාලන විරුද්ධවාදීන් ඉතාම අඩු තක්සේරුවෙන් අපහාස උපහාස සමග නොයෙකුත් ප්‍රකාශ කරනවා. නමුත් ඉතිහාසයට එක්වේවි අනාගතයේ සඳහන් කළා වගේම අපි කළේ නිවැරදි රටට ඉතාම අවශ්‍ය යුක්ති සහගත දෙයක් කියලා. රටේ ජනතාව මේ අන්තවාදීන් සහ ගැටුම් ඇති කරන අය හඳුනාගත යුතුයි. අපි බුද්ධියෙන් දැනුමින් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. අපි සෑම කෙනෙක්ම මේ අපේ මාතෘභූමියට ආදරය කළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් මේ සියලු ජාතීන් කෙරෙහි මම විශ්වාසය තබනවා. ගෞරව කරනවා. සියලු දේශපාලන පක්ෂවල නායකයින් දේශපාලනය කරන සෑම කෙනෙක්ම මේ වගකීම් හොඳින් තේරුම් ගත යුතුයි.
තමාගේ බලය සඳහා නොව රට වෙනුවෙන් කැප විය යුතුයි. බලයට ආදරය කරන්නන්ට අනාගතයක් නැහැ. රටට සහ ජනතාවට ආදරය කරන අයටයි අනාගතයක් තිබෙන්නේ. ඒ සමාජ සාධාරණත්වය තුළ අපි වගකීම් ඉටු කරමු.
{jathumbnail off}