ජාතිවාදය මතින් තම අරමුණු ඉටුකර ගැනීමට මාන බලන දේශද්‍රෝහීන්ගේ ගොදුරු බවට පත් නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටී.


රට තුළ භීෂණය ඇති කොට ජන ජීවිතය කඩාකප්පල් කොට හෝ බලය ලබාගැනීම එකම අරමුණ කර ගත් දේශපාලන බල තණ්හාවෙන් සිටින සමහර කොටස් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට විවිධ උපක්‍රම, විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සැලසුම් කරමින් සිටින බව පෙනෙන්ට ඇතැයි පාර්ලිමේන්තුවේදි ඊයේ (06) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහනෙ කළේය.
එම කොටස්වල එකම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීම බව පෙන්වා දෙන අගමැති වික්‍රමසිංහ මහතා ජාතීන් අතර වෛරී හැඟීම් ඇති වන ආකාරයේ නොමඟ යවන සාවද්‍ය තොරතුරු විශේෂයෙන්ම සමාජ ජාලා හරහා විකෘති තොරතුරු පතුරුවා හැරීම වැනි ක්‍රියා සංවිධානාත්මකව සිදුවන බව පැහැදිලිව පෙනෙන්නට ඇති බව අවධාරණය කෙළේය.
සියලු ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ආණ්ඩුවක් වශයෙන් තරයේ හෙලා දකින අතර වගකිව යුතු ආණ්ඩුවක් වශයෙන් මෙවැනි නීතිවිරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් තිස් වසරක කුරිරු යුද්ධයකින් පීඩා විඳි රටක් වශයෙන් සාමයේ, එකමුතුකමේ හා නිදහසේ වටිනාකම සියලු දෙනා ඉතා හොඳින් දන්නා බවද පැවසිය.
මේ රටේ බහුතරය වන සිංහල බෞද්ධයින්ගේ උරුමය ආරක්ෂා කරන බවත් ඒ උරුමයට හෝ අයිතිවාසිකම්වලට හානියක් හෝ තර්ජනයක් සිදු වී නැතැයිද එසේ සිදු වීමට ඉඩ නොදෙන බවත් අගමැතිවරයා අවධාරණය කරයි.
එසේම ශ්‍රී ලාංකිකයින් ලෙස මේ රටේ ජීවත් වෙන වෙනත් සියලු ජාතීන්ට හා ආගම්වලට කිසිම හිරිහැරයක් නැතිව තමන්ගේ සංස්කෘතිය භුක්ති විදීමටත්, ආගම ඇදහීමටත් අයිතියක් ඇති බවද අගමැති වික්‍රමසිංහ මහතා පෙන්වා දේ.
මුස්ලිම් දේවස්ථානවලට සිදු වූ හානිය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව සඳහන් කළ අගමැතිවරයා මෙම සංවිධානාත්මක හා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව කිසිසේත් පසුබට නොවන බවද එසේම මෙම අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් හානි වූ ජීවිත හා දේපොළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමට ද ආණ්ඩුව කටයුතු කරනු ලබන බවද පැවසිය.