අල්ලස් හෝ දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර අවසන් කිරීමට බිම් මට්ටමේ අදහස් විමසීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.
අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම හා විර්ශනය කිරීම, නිවාරණ වැඩපිළිවෙල හා අධ්‍යාපනය, රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති සකස් කිරීම යනාදි කාරණා මුල් කර ගනිමින් අල්ලස් හෝ දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන බවත් මහජන අදහස් හා යෝජනා ඒ සඳහා ලබා ගැනීමෙන් වඩාත් සාර්ථක සැලැස්මක් සකස් කළ හැකි බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පවසයි.
වසර 2017 දි කොමිෂන් සභාවට පැමිණිලි 2768 ක් ලැබුණු අතර ඉන් 73 කට නඩු ගොනු කළ බවත් අල්ලස් හෝ දූෂණ මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළෙහි සාර්ථකභාවය අනුව ලෝක දූෂණ විරෝධී ධූරාවලියෙහි 96 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වන විට 91 වැනි ස්ථානයට පැමිණ සිටීම සතුටට කරුණක් බවත් ඒ මහතා අවධාරණය කළේය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව ඊයේ (8) ප්‍රකාශ කළේය.
රටක් වශයෙන් ඉදිරියට යාමට අල්ලස් හා දූෂණය නිවාරණය කිරීමේ ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඒ සදහා සමාජයේ හරස්කඩක් නියෝජනය කරන විවිධ විෂයයික විශේෂඥයින්ගේ දැනුම මෙන්ම සමාජයේ බිම් මට්ටමේ අදහස් හා යෝජනා ලබා ගන්නා විට ජනමාධ්‍යයේ සහාය අත්‍යවශ්‍ය යැයි ද, ජාත්‍යන්තරයේ ද අදහස් ලබා ගනිමින් රටට ගැළපෙන ජාතික සැලැස්මක් සකස් කිරීම හැකි ඉක්මණින් සිදු කළ යුතු යැයි ද අධ්යක්ෂ ජනරාල්වරයා එහිදී පැවසීය.
අල්ලස් හෝ දූෂණ පැමිණිලි නඩු 57 ක විත්තිකරුවන් වැරදිකරුවන් කරමින් ඉතිහාසයේ වැඩිම නඩු සංඛ්‍යාවක් මහාධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පසුගිය වසරේදි විසඳූ බවත් පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම්වලට එරෙහිව නීතියක් සකස් කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අල්ලස් නීතිය, වත්කම් නීතිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන පනත යනාදිය වසර 23 ක් පුරාවට සංශෝධනය වී නොමැති අතර ඒවා සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවක් යැයි ද ඔහු පැවැසීය.
දූෂණ නඩුවල ගැඹුර අනුව ඒවා විසඳීමේ බලය මහාධිකරණයට ද ලබා දිය යුතු යැයි ද ඔහු පැවැසුවේය.
අල්ලස් හෝ දූෂණය නිවාරණය සඳහා වැඩි අවධානයක් යොමු කර මේ අකටයුතුකම්වලට පෙළඹෙන්නන් ඒවායින් ඈත් කරන්නට පියවර ගත යුතු බවත් මෙම අකටයුතුකම් මර්දනයට ප්‍රතිපත්ති සකස් කරනවා මෙන්ම සියලුදෙනා තුළ අවංකබව ප්‍රගුණ කළ යුතු බවත් ඔහු පැවසීය.
පුද්ගලයින් චාම්භාවයෙන් ඔබ්බට යාම හේතුවෙන් මේ අකටයුතුකම්වලට පෙළඹීමක් සිදු වන්නේ යැයි ද, අල්ලස් හෝ දූෂණවලට විරුද්ධව සංස්කෘතියක් රටේ ස්ථාපිත කළ යුතු යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
මේ අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන සහ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර යන මතහත්ම මහත්මීන්ද සහභාගී විය.
{jathumbnail off}