දේශපාලන කරළියේ සිදුවීම්වලට වඩා රටේ සංවර්ධනය, ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාම සහ එක් එක් විෂය ක්සේත්‍රයන් තුළ තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම් ඉහළම කැපවීමකින් ඉටුකිරීම පිළිබඳ රාජ්‍ය සේවයේ සියලුදෙනාගේ අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

 

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික මහා සමුළුව අමතමිනි.
රටේ සංවර්ධනය සහ රටේ ආර්ථිකය නගා සිටුවීමන් ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් උදාකරදීම සඳහා සියලුදෙනාගේ සාමූහික කැපවීම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පරිපාලන සේවයේ සියලුදෙනා ද ඒ වෙනුවෙන් වගකීම් ඉටුකරනු ඇතැයි විශ්වාසය පළ කළේය.
සංගමයේ නව සාමාජිකයින් පත්කර ගැනීම ද මෙහිදී සිදු කෙරුණු අතර එහි නව සභාපති ලෙස ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා සහ නව ලේකම් ලෙස රෝහණ ද සිල්වා මහතා පත්කර ගනු ලැබීය.
සංගමයේ හිටපු සභාපතිවරයාගේ සිට එහි කටයුතු කළ සියලුදෙනාගේ සේවය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා නව සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලය වෙත සිය සුබපැතුම් පිළිගැන්විය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති රංජිත් ආරියරත්න, හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. එම්. බී. වීරසේකර යන මහත්වරුන් ඇතුළු සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.