රුසියාවේ, කෙමෙරෝවොහි විනෝද වෙළෙඳ සංකීර්ණයක් තුළ ඇති වූ ගින්නකින් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් රැසකගේ ජීවිත අහිමිවීමේ ඛේදවාචකය පිළිබඳ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කරයි.


ඊයේ (28) පස්වරුවේ කොළඹ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සමරු ග‍්‍රන්ථයේ රුසියානු ජනාධිපති ව්ලැඩ්ර්මිර් පුටින් මහතා වෙත විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ කළේය.මෙම කනගාටුදායක අවස්ථාවේ ශ‍්‍රී ලංකා රජයත්, ජනතාවත් රුසියානු රජය සහ එම මිත‍්‍ර ජනතාව සමග සිය සංවේගය බෙදා ගන්නා බව ජනාධිපතිතුමා සිය ශෝක සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් සියලුදෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය ශෝකය පළ කරන ජනාධිපතිතුමා, තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරයි.
රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මැටරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ජනාධිපතිතුමා රුසියානු තානාපතිවරයා සමග සුහද කථා බහකට ද එක්විය.