රටේ තරුණ පරපුරට යහපත් සමාජයක් සහ යහපත් රටක් ගොඩනගාදීමට සියලු දෙනා සාමූහිකත්වයෙන් වගකීම් ඉටුකළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ 31 පස්වරුවේ නිකවැරටිය පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවති ‘ජාතික යොවුන් පුරය 2018’ සමාප්ති උත්සවය අමතමිනි.
ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන යොවුන් පුරය 2018 මෙවර කුරුණෑගල දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පසුගිය 28 වනදා ඇරඹිණි.
දිවයින පුරා තරුණ තරුණියන් 7000 ක් පමණ මීට එක්වූ අතර, විදෙස් රටවල තරුණ තරුණියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
තරුණ තරුණියන්ගේ පෞරුෂ වර්ධනය සඳහා නායකත්ව වැඩමුළු, යොවුන් කඳවුරු හා තරුණ හමු මෙහිදී පැවැත්වුණ අතර ශ‍්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජාතික සංහිඳියාව සහ සාමුහිකත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීමටත්, තරුණ සංවර්ධන ක්ෂේත‍්‍රයේ කටයුතු සම්බන්ධ විදෙස් තරුණ තරුණියන් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, අන්‍යොන්‍ය අවබෝධයක් ලබාදීම තුළින් සාමුහිකත්වය, සහජීවනය පදනම් කරගත් විවිධ කි‍්‍රයාකාරකම්වල නියැලෙමින් ජාතික සංවර්ධනය සම්බන්ධයෙන් තරුණ පරපුර අතර කතිකාවක් ඇතිකරමින් අදහස් හා යෝජනා ලබාගැනීමටත් මෙමගින් වේදිකාවක් සැපයේ.
මෙම සමාප්ති උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද ලොව දියුණු රටවල් එම දියුණුව කරා ළඟාවී ඇත්තේ සියලු දෙනා රට වෙනුවෙන් පොදු අරමුණක් යටතේ කටයුතු කිරීම නිසා බවයි.
එබැවින් පෞද්ගලික න්‍යාය පත‍්‍රවලින් බැහැරව රට වෙනුවෙන් පොදු න්‍යාය පත‍්‍රයක් ඔස්සේ සියලු දේශපාලන නායකයින් මෙන්ම සියලු දේශපාලන සංවිධාන කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා සාමුහිකත්වය, ජාතියක් ලෙස ඉදිරියට යාමට යෝධ ශක්තියක් බව ද කියා සිටියේය.
මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ තාරුණ්‍යයේ අපේක්ෂාවන් මුදුන් පත් කිරීම වෙනුවෙන් රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි.
2018 ජාතික යොවුන් පුරයේ නිර්මාණාත්මක සහ හොඳම යෞවන සමාජය ලෙස ලකුණු 160 ක් ලබාගෙන කුරුණෑගල දිස්ති‍්‍රක් යෞවන සමාජය ජයග‍්‍රහණය කළ අතර, ඊට අදාළ කුසලානය මෙහිදී ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍ය එස්. බී. නාවින්න, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, සරත් ෆොන්සේකා, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“ජාතික යොවුන් පුරය 2018” සමාප්ති උත්සවය අමතමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කළ කතාව. 2018-03-31
පසුගිය දශක තුනකට වැඩිය කාලයක මේ රටේ තරුණ පරපුර සඳහා විටින් විට අවශ්‍ය නායකත්වය, මගපෙන්වීම ලබාදී තිබෙන ආයතන ලෙස ජාතික තරුණ සේවා හඳුන්වා දියහැකියි. නිකවැරටිය යොවුන්පුරයේ දී ජාතික තරුණ සේවා සභාවේ සභාපති, සිය සහෘදයින් සමග සියලු දෙනා මේ වසරේ දක්ෂකම්, හැකියාවන්, කුසලතාවයන් කැපවීම පෙන්නුම් කරලා තිබෙනවා.
අපේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය අපිට බොහෝ පාඩම් කියා දී තිබෙනවා. අපි මහා සංස්කෘතියක හිමිකරුවන්. අපි අපේ ඉතිහාසය තුළ ජාතියක් විදියට ශ්‍රේෂ්ඨත්වය ලොවට පෙන්නුම් කළ විශිෂ්ට ජාතියක්. ඒ ඉතිහාසයේ ගෞරවාන්විතභාවයත් සමග අද දවස වඩාත් හොඳ හෙට දවසක් කරගන්නේ කෙසේද කියන කාරණයයි අපිට තිබෙන අභියෝගය. ගරු අගමැතිතුමා, ඇමතිතුමා, තරුණසේවා සභාවේ සභාපතිතුමා, ඒ වගේම ඔබේ තරුණ නායකයින් අදහස් රාශියක් ඉදිරිපත් කළා. අපිට අපේ රට ලෝකයේ විශිෂ්ට ජාතියක් බවට පත්කරන්න, හෙට දවස හොද දවසක් කරන්න අපි අපේ ස්වශක්තිය ගැන විශ්වාසය තැබිය යුතුයි. අනුරාධපුර යුගයේ සිට මුළු ඉතිහාසය පුරා සැමවිටම පෙන්නුම් කර ඇත්තේ ජාතියක් විදියට ගොඩ නැගුණේ ස්වශක්තියෙන් හා ස්ව දැනුමෙන් බවට. අද අධිතාක්ෂණික ලෝකය තුළ අපිට වඩා දියුණු රටවලින් දැනුම, තාක්ෂණය අපිට අවශ්‍යයි. එහෙත් අධිතාක්ෂණයෙන් යුක්ත රටවල්වලටත් මීට වසර ගණනාවකට එහා අපේ රටේ තිබුණ දස්කම්, නිපුණතාවයන්, අදටත් ඔවුන්ට පෙන්නුම් කරන්න බැහැ. අපි ප‍්‍රධාන වශයෙන්ම දැනුම මුල් කරගත්, දැනුමෙන් ශක්තිමත් වූ ජාතියක්. ඒ සඳහා අපි කැපවිය යුතු වෙනවා.
ආදරණීය දරුවනේ, ඔබ අවංකයි. ඔබ සටන්කාමියි. ඔබ එඩිතරයි. ඔබට අවශ්‍ය වන්නේ පිරිසිදු සමාජයක්. ඔබ තව තවත් විශිෂ්ටත්වයට පැමිණිය හැකිවන්නේ දැනුමෙන් පිරි නායකත්වයකින්. අපි රජයක් විදියට සැමවිටම රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ, රජයේ වැඩ පිළිවෙළ තුළ පසුගිය වසර තුනකට වැඩි කාලයකදී මේ රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය නගා සිටුවන්න විශාල ආයෝජනයක් කරලා තිබෙනවා. කුසලතා වර්ධනය කරමින් නිපුණතාවයන් ඇති කරන්න, නිෂ්පාදන ආර්ථිකයක් සඳහා අවශ්‍ය පසුබිම ගොඩනගන්න අපි අවශ්‍ය සම්පත් ලබාදීලා ඒ ක්ෂේත‍්‍ර පුළුල් කරලා තිබෙනවා.
අද තොරතුරු තාක්ෂණයත් සමග ලෝකය විවෘත වී තිබෙනවා. ඒ ලෝකය තුළ අපි අවශ්‍ය දේ උකහා ගන්නේ කෙසේද? නිවැරදි දේ ලබාගන්නේ කෙසේද? ඉදිරි මගපෙන්වීම් ලබාගන්නේ කෙසේද? ඒ සියල්ල සඳහා අපි නිවැරදි දැක්මක් සහිතව යායුතු වෙනවා. බොහෝවෙලාවට අද රටේ ඇතිවන ප‍්‍රශ්නවලට හේතුව පොදු න්‍යාය පත‍්‍රයකට කටයුතු නොකිරීමයි. එක් එක් දේශපාලන නායකයින්, විවිධ සංවිධානවල නායකයින් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කිරීමයි. ලෝකයේ රටවල් දියුණු වී තිබෙන්නේ ඒ රටවල සිටින සියලු දෙනා රට වෙනුවෙන් සිය අවංකභාවයෙන්, කැපවීමෙන්, එකට එක්ව, එක් අරමුණක් තුළ කටයුතු කිරීමයි.
අද දවසේ අප සැමගේ අරමුණ වියයුත්තේ හෙට දවසේ යහපත් සමාජයක් සඳහා සාමූහිකත්වයෙන්, පොදු අරමුණකින් කටයුතු කිරීමයි. බෙදීම්, වෙන්වීම් සැමවිටම ජාතියක ඛේදවාචකයක්. සමගිය ශක්තිය, එකමුතුව, ජාතියක් ඉදිරියට යන්න ශක්තිමත් දම්වැලක් වෙනවා. ඒ නිසා මේ යොවුන් පුරය තුළදී ඔබ ලබාගත් අත්දැකීම්, ඔබ පැමිණියාට වඩා ඔබ යන්නේ අත්දැකීම් රාශියක් සමගින්. දින තුනකට පෙර පැමිණි ඔබ අද දවසේ නැත්නම් හෙට පිටත් වන්නේ ඔබ පැමිණි අවස්ථාවට වඩා යමක් හිතට අරගෙනයි. ජාතියේ උන්නතිය වෙනුවෙන් අපි සැමවිටම කටයුතු කිරීමේදී ස්ව ශක්තිය පිළිබඳ විශ්වාසය තැබීම මෙන්ම ජාතියක් විදියට ඉදිරියට යන්න අවශ්‍ය සමගිය එකමුතුව හා අවංකභාවයත්, ජාතීන් අතර තිබිය යුතු සමගිය, සුහදශීලිත්වය හා මිත‍්‍රශීලිභාවයත් රැකගැනීම අවශ්‍යයි.
ශ‍්‍රී ලාංකිකයින් බොහෝ ක්ෂේත‍්‍රවලදී කීර්ති නාමයක් දිනාගෙන තිබෙනවා. විද්වතුන්, විද්‍යාඥයින්, බහුශ‍්‍රැතයින් මේ යුගය තුළත් අපේ රටින් බිහිවෙලා තිබෙනවා. ලෝකයේ අධිතාක්ෂණික ආයතනවල අපේ ශ‍්‍රී ලාංකිකයින් නිපුණතාවයන් පෙන්නුම් කරනවා.
අපි ජාතියක් විදියට ලොව කිසිදු ජාතියකට දෙවැනි නැහැ. එසේ නම් අපි තේරුම්ගත යුතුයි අප තුළ තිබෙන්නා වූ දුර්වලකම් මොනවාද, කළයුතු කාර්යයන් මොනවාද කියලා. ඒ සඳහා අපි රජයක් විදියට ඔබට අවශ්‍ය මගපෙන්වීම කරනවා. ඔබේ වීරත්වයට, ඔබේ දැනුමට, අපි සැමවිටම අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. මේ ආදරණීය දරුවන්, ඔබේ යොවුන් පුරය, සාර්ථක කරගනිමින් ඔබ නික්ම යන දවසේ ඔබ හමුවන්න ලැබීම පිළිබඳ මා ඉතාමත් සතුටු වෙනවා. ඔබටත් මේ රටේ සමස්ත තරුණ පරපුරටත් ඉදිරි අනාගතය වඩාත් යහපත් කරන්න, ඔබේ දැනුමෙන් යහපත් අපේක්ෂාවන් ඉටුකරන්න රජයක් විදියට කළයුතු සියලුම දේ කරනවා.
ස්තුතියි