අප්‍රේල් පළමුවන දා සිට ක්‍රියාත්මක වන නව දේශීය ආදායම් බදු පනතින් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගෙන් හා විදෙස් රැකියාවල නියුක්තව සිටින ශ්‍රමිකයින් එවන මුදල්වලින් බදු ගැනීමට යන බවට පැතිර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
රජය එම වැරදි ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊයේ (03) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙම පනත ගෙනාවේ ශ්‍රී ලංකාවේ පවතින බදු ක්රමයේ විෂමතා නැතිකොට සාධාරණ බදු ක්‍රමයක් ඇති කිරීම සඳහා ය. බදු පදනම පුළුල් කිරීම,පවතින සංකීර්ණ බදු ව්‍යුහය සරළ කිරීම, බදු පැහැර හරින්නන්ට එරෙහිව පවතින ජාත්‍යන්තර නීති සංකල්ප පරික්ෂාකොට ඒවා මෙරටට සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිව බවද අමාත්‍යවරයා පැවසීය.
දැනට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 82%කට වක්‍ර බදු ගෙවීමට සිදුවී ඇති අතර සෘජු බදු ගෙවන්නේ සියයට 18%ක් පමණි.එහෙත් නව බදු පනත මඟින් සෘජු බදු ආදායම් ප්‍රතිශතය සියයට 40% දක්වා වැඩි කිරීම අරමුණ බවද අමාත්‍යවරයා කීය.
නව සෘජු බදු මඟින් මේ වසරේ දෙවැනි හා තුන්වැනි කාර්තුවලදී රුපියල් බිලියන 30ක බදු ආදායමක් අපේක්ෂා කෙරේ.වාර්ෂිකව මෙයින් බලපොරොත්තුවන ආදායම රුපියල් බිලියන 60කි.
තමා මුදල් අමාත්‍යධූරය බාරගන්නා විට සකස් කොට තිබූ දේශීය ආදායම් පනත, ආණ්ඩුවෙත් විපක්ෂයෙත් මැති ඇමැතිවරුන්, නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව,ආදීන්ගේ අඳහස් විමසා යළි සකස් කළ බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.