මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන වීරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි.
මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිරයාමේ උත්සවය ඊයේ (09) පෙරවරුවේ සේනාධිනායක ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය. මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ 48 වන මූලික පුහුණු පාඨාමාලව හැදෑරු විශේෂ බළකා නිලධාරින් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 189 ක් අද මෙලෙස විසිර ගියහ.
දර්ශනීය සරඹ සංදර්ශන, තූර්ය වාදන සහ දර්ශනීය පැරෂුට් සංදර්ශනයකින් ද මෙම විසිරයාමේ උත්සවය වර්ණවත් කෙරිණි.
දක්ෂතම සිසුවා සහ දක්ෂතම ශාරිරික අභ්‍යාස සිසුවා ලෙස දෙවැනි ලුතිනන් ඩබ්.එම්.කේ.ආර්. වනිගසූරිය සහ දක්ෂතම වෙඩිතබන්නා ලෙස ලුතිනන් ඊ.එම්.පී.ඩී. ඒකනායක මහතා මෙහිදී ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්හ.
මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටුකිරීමේදී සන්නද්ධ විය යුත්තේ ආයුධවලින් පමණක් නොව දැනුමෙන්, හැකියාවෙන් සහ නිර්මාණශීලිත්වයෙන් ද ඔවුන් දක්ෂතා පෙන්විය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම සහ වරප්‍රසාදයක්ම ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසල් භූමියේ නා පැළයක් ද රෝපණය කෙරුණු අතර, එහි ඔසු උයන නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.
ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ටී.යූ මහලේකම් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන් අනතුරුව මාදුරුඔය ධීවර ගම්මානයේ කතෝලික දේවස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරිමේ අවස්ථාව සඳහා ද ජනාධිපතිතුමා එක්විය.
“පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අනුව රුපියල් ලක්ෂ 60 ක පමණ වියදමින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.
ධීවර ගම්මානයේ ජනතාවගේ නිවාස ගැටලු ඇතුළු ගැටලු කිහිපයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර, එම ගැටලු විසඳීම සඳහා වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පැවසීය.
එමෙන්ම එහි දරුවන්ගේ අධ්‍යාපන ගැටලු, සෞඛ්‍ය ගැටලු ඇතුළු සෙසු සුබසාධන සේවාවන් සොයා බලා ඉටුකිරීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ප්‍රදේශයේ පූජකතුමන්ලා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාදුරු ඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
(2018-04-09 වන දින – මාදුරු ඔය විශේෂ බළකා පුහුණු පාසල් සංකීර්ණය)
අපේ රටට මෙන්ම අන්තර්ජාතික වශයෙන් විශිෂ්ට කීර්තියක් සහ ගෞරවයක් ලබා තිබෙන, විනයගරුක හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ තවත් කණ්ඩායමක් සිය මූලික පුහුණුවීමෙන් පසුව ප්‍රතිඥා දී සිය සේවාවන් සඳහා පිටව යන අවස්ථාවේ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.
යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාව මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම ශක්තිමත්ව තිබිය යුතුයි. ඒ ශක්තිමත්භාවය පුහුණුවීමෙන්, දැනුමෙන්, අත්දැකීමෙන්, පරිණතභාවයෙන්, ශිල්පීය ඥානයෙන් පරිපූර්ණ විය යුතුය. අවුරුදු 27 ක 28 ක කාලයක් ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගේ සටන්වලට මුහුණදී අපේ ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ත්‍රිවිධ හමුදාවේ තිබෙන අත්දැකීම්වලදී ශ්‍රී ලංකා යුද හමුදාව එමෙන්ම විශේෂ බළකාය වෙත හිමිවන්නේ අතිශය ගෞරවයක්, කීර්තියක් මෙන්ම විශේෂ ප්රණාමයක්. ඒ ඔබේ තිබෙන්නාවූ දක්ෂතාවය, හැකියාව, කුසලතාවයන්, එඩිතරකම, සටන්කාමීත්වය, කැපවීම මේ සියලු ගුණාංගවලින් සියලු අංශවලින් ඔබ සන්නද්ධ වූ නිසායි.
යුද්ධයක් කිරීම සඳහා මෙන්ම ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටු කිරීමේදී සන්නද්ධ විය යුත්තේ ආයුධවලින් පමණක් නොවේ. ආයුධ භාවිතා කිරීම යුද හමුදාවේ එක් අංශයක්. අනෙකුත් සියලු අංශවලින් සන්නද්ධ වීම යන්නෙන් අදහස් කරන්නේ, අවශ්‍ය දැනුම, භාවිතය, පුහුණුවීම් ආදී සියල්ලෙන් පරිපූර්ණවීමයි.
අපේ රටේ වසර දහස් ගණනක ඉතිහාසය ගත්විට අපි බොහෝවිට ආක්රමණයන්ට මුහුණ දුන් රටක්. විදේශ ආක්රමණවලට මුහුණ දුන් රටක්. විදේශ ආක්‍රමණ මෙන්ම රට අභ්‍යන්තරයේ ඇතිවූ විවිධ යුදමය තත්ත්වයන්වලට මුහුණ දුන් රටක්. ශ්‍රී ලාංකික ජනතාව සැමවිටම සටන්කාමිත්වය පිළිබඳව, වීරත්වය පිළිබඳව ඉතිහාසය පුරා කීර්තිය දිනා තිබෙනවා. එමෙන්ම අත්දැකීමක් ලබා තිබෙනවා. ඉතිහාසයේ මතක සටහන් සමග ඉතිහාසයේ පාඩම් සමග පසුගිය දීර්ඝ කාලයක ත්රස්තවාදීන්ගේ යුද්ධය ඔබට පරාජය කිරීමට හැකියාව ලැබුණා. නව අධි තාක්ෂණික ලෝකයේ අපිට වඩා යුදමය වශයෙන් ආරක්ෂක උපායමාර්ගික වශයෙන් විවිධ අංශවල තිබෙන දැනුම, ශීල්පීය ඥානය, නව තාක්ෂණික උපකරණ භාවිතය ඉහළයි. ඒ සියල්ල අප විසින් අත්පත් කරගත යුතු වෙනවා.
යුද හමුදාවක තිබිය යුතු මූලික ලක්ෂණයක් වන්නේ, විනයගරුකභාවය, එඩිතරකම, කැපවීම, අවංකභාවයයි. ඔබ මෙහිදී දුන් ප්‍රතිඥාව මා හොඳින් අසා සිටියා. ඔබේ ප්‍රතිඥාව තුළ සියලු අංශ එක්වී තිබෙනවා. අපි ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ගෞරවයට සහ පිළිගැනීමට ලක්වන්නේ ඒ තිබෙන්නාවූ විශිෂ්ට ලක්ෂණවලින් හෙබි පිරිසක් විදියට සිය වගකීම් සහ යුතුකම් අපේ ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කිරීමෙනුයි. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගත් විට අද මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකයේ සෑම රටක්ම බැඳී තිබෙන්නාවූ ප්රඥප්තීන්, එකඟතාවයන්, ගිවිසුම් රාශියක් තිබෙනවා. අපේ යුද හමුදාව සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෞරවයට ලක්වූ හමුදාවක් විදියට ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සඳහා අපේ විශිෂ්ටයින් යැවීමට ශ්‍රී ලංකා රජයට හැකියාව ලැබී තිබෙන්නේ ඒ නිසායි. අපි සැමවිටම අන්තර්ජාතික නීති රීතිවලට පොදු එකඟතාවය පළ කරමින්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ, ආරක්ෂක අමාත්‍යාංශය තුළ, යුද හමුදාව තුළ, තිබෙන්නාවූ ව්‍යවස්ථාපිත තත්ත්වයන් නීතිගරුක තත්ත්වයන් සහ අපේ වගකීම් ඉටු කළ යුතු වෙනවා.
ඔබ සියලු දෙනාට මම සුබ පතනවා. ආශිර්වාද කරනවා. ඔබේත් මගෙත් ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම ඔබේ සේවය ඉහළම කැපකිරීමකින් ඉටු කිරීමට ශක්තිය ඔබට ලැබේවා. ඔබේ රාජකාරී සේවාව වගේම ඔබේ පෞද්ගලික ජීවිත සියලු ආකාරයෙන් සාර්ථක වේවා. මේ පුහුණුවීම් ලැබූ ආදරණීයවූත් ගෞරවනීයවූත් යුද හමුදාවේ සාමාජිකයින් පුහුණුවීම ලබා පිටව යන දවසේ ඔබේ ආදරණීය දෙමව්පියන් ඔබ කෙරෙහි තැබූ බලාපොරොත්තු, අපේක්ෂාවන් සියලු දේ ඉටු කරමින් ඔවුන්ට ගෞරව කරමින් ඔබේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මගපෙන්වීම් තුළ විනයගරුකව ක්‍රියාකරමින් මේ ආදරණීය මාතෘ භූමියට කළ යුතු සේවාවන් කිරීමට සැමවිටම රජය විදියට ආරක්ෂක අමාත්‍යාංශය විදියට ඔබට දිය හැකි සෑම සම්පත්, සහයෝගයන්, අනුග්රහයන් ලබා දෙන බව ප්‍රකාශ කරමින් සියලු දෙනාට සුබ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තූතියි.