රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියාවන්ට විශාල වශයෙන් තරුණ තරුණියන් අනුයුක්ත කිරීමටත් ස්වයං රැකියාවල යෙදෙන්නන්ට ඒ සඳහා මුල්‍ය ආධාර ලබාදෙමින් ඔවුන් එම ක්ෂේත්‍රයේ හිනිපෙත්තට ගෙන ඒමටත් පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (9) පැවසීය.


තරුණ තරුණියන්ට බහුලව රැකියා අවස්ථා උදා කරදීමේ ස්ථිරසාර වැඩපිළිවෙළ හෙළිදරව් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථාවන් සඳහා අවශ්‍ය දැනුමින් තරුණ තරුණියන් සන්නද්ධ කරන බවයි.
කර්මාන්ත,සංචාරක, කෘෂිකර්මාන්තයේ රැකියා අවස්ථා වැඩි කරන බව පැවසූ අගමැතිවරයා අපනයන වෙළඳපොළ ආයෝජන තුළින් රටේ ආර්ථිකය කනපිට හරවන බවත් ප්‍රකාශ කළේ ය.
‘යූත් විත් ටැලන්ට්’ තරුණ ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රජා මූල ව්‍යාපෘති තුන්දහසක් අතරින් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින්ට සම්මාන පිරිනැමීම ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. අගමැතිවරයාගේ සංකල්පයක් මත රටපුරා මෙය ක්‍රියාත්මක විණි.
තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
‘යූත් විත් ටැලන්ට්’ තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන 2017 වසරේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් රුපියල් කෝටියක් ගමේ සංවර්ධනයට හිමිකර ගනිමින් අගමැතිතුමා අතින් සම්මාන ලැබුවේ කුරුණෑගල ගල්ගමුවේ පානීය ජල ව්‍යාපෘතිය ඉදිකර දුන් කුරුන්දන්කුලම ‘සිංහලේ අපි’ යොවුන් සමාජයයි.
දෙවන ස්ථානය හිමිකර ගත්තේ නුවරඑළිය වලපනේ ‘බ්‍රේව් හාට්ස්’ යොවුන් සමාජයයි. බුද්ධ මන්දිරය මගී ආවරණය, දහම් පාසලට විදුලිය ආලෝකය, දුගී පවුලකට නිවාසයක් ඉදිකරදීම ඔවුන් සිදුකර තිබුණි.
තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකළ විල්ගමුව ‘සත්සර’ යොවුන් සමාජයයි. දෙවන තෙවන ස්ථාන ලැබූ යොවුන් සමාජ සඳහා සම්මාන පිරිනැමීමත් අගමැතිවරයා සිදු කළේ ය.