ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල් 26 වන දා සිට මැයි 02 වන දා දක්වා "වෙසක් සතිය" ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇත.


තිරසර පරිසරයක් සඳහා බුදු දහම, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා බුදු දහම, බුදු දහමින් පෝෂිත වූ සිංහල සාහිත්‍ය, බුදු දහමින් පෝෂිත වූ හෙළ කලාව, යහපත් වෘත්තීය ජීවිතයක් සඳහා බුදු දහම, සමාජ සංවර්ධනය- ආර්ථිකය හා බුදු දහම යන කරුණු ඉස්මතු කිරීමට මෙවර වෙසක් සතියේ එක එක් දිනයන් යොදා ගෙන ඇත.
ශ්‍රී බු. ව. 2562 රාජ්‍ය වෙසක් මහෝත්සවය ආධ්‍යාත්මක සංවර්ධනයට මුල්තැන දෙමින් අතිපූජ්‍ය මහනායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන් හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් 2018 දින අප්‍රේල් 28 කුරුණෑගල - බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.
"චිත්තං දන්තං සුඛාවහං" (දැමුණු සිත සුව ගෙන දේ) මෙවර වෙසක් තේමාව වන අතර, සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනු වස් ගමේ පන්සල ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් ප්‍රඥාවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක්, එහි අරමුණ වේ.