ඉරානය සහ ශ‍්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (12) දහවල් ඉරානය බලා පිටත්ව ගියේය.


ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ඇරයුම පරිදි ජනාධිපතිතුමා මෙම සංචාරයට එක්වන අතර ඉරාන – ශ‍්‍රී ලංකා ආර්ථික හා වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම ශ‍්‍රී ලංකාව තුළ ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබඳව ද මෙම සංචාරයේදී ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කෙරෙණු ඇත.
බටහිර ආසියානු රටක් වන ඉරානය පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු විශේෂ බලශක්ති ආරක්ෂණය ලෙස, ලෝක ආර්ථිකයේ විශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටී.
ශ‍්‍රී ලංකාවේ බොහොමයක් සංවර්ධන කටයුතු සඳහා ඉරානය ද සිය දායකත්වය සපයයි. ශ‍්‍රී ලංකාවේ තෙල් පිරිපහදු අංශවල ඉරානය සිය ආයෝජන සිදු කරන අතර එමගින් ශ‍්‍රී ලංකාවේ පිරිපහදු තෙල් නිෂ්පාදනය දෙගුණ කිරීමට අපේක්ෂිතය.
මීට අමතරව ග‍්‍රාමීය විදුලිබල අවශ්‍යතාව පිරවීමට ද සහය දක්වමින් ශ‍්‍රී ලංකාවට ආධාර කරන ප‍්‍රධාන රටවල් අතුරින් එකක් බවට ඉරානය පත්ව සිටි.
මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඉරානයේ සිදුකරන පළමු රාජ්‍ය සංචාරය මෙයයි.
ජනාධිපතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව හෙට පැවැත්වෙන අතර, දෙරටේ ආර්ථික සහ වෙළඳ සබඳතා තර කෙරෙන නව අවබෝධතා ගිවිසුමකට ද එහිදී අත්සන් තැබීමට නියමිතය.
එමෙන්ම එරට වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන විශේෂ ආයෝජන සහ ව්‍යාපාරික සමුළුවකට ද ජනාධිපතිතුමා මෙහිදී එක්වෙයි.
සිය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ඉරාන පාර්ලිමේන්තුවේ චාරිකාවක නිරතවීමට ද නියමිතය.