දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙළීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
අද සියලු ජනතාව වක්‍ර ආකාරයට බදු ගෙවන බැවින් එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් කිරීම සඳහා 2020 වන විට වැට් බද්ද 2.5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම අවධාරණය කළේ ය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ සහකාර රේගු අධිකාරීවරුන් 68 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා (24)දින මුදල් අමාත්‍යාංශයේ පැවැති උත්සවයක දීය. 10,000කට අධික පිරිසක් පෙනී සිටි තරග විභාගය සමත් 287 දෙනෙකු අතුරින් සම්මුඛ පරීක්ෂණයකින් මෙම 68 දෙනා තෝරා ගනු ලැබ ඇත.
මෙම තෝරා ගැනීම් සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ බවත්, සුදුස්සට සුදුසු තැන ලබා දීමේ ප්‍රතිපත්තිය පමණක් ක්‍රියාත්මක වූ බවත් හෙතෙම අවධාරණය කළේ ය. වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ දපැවැසීය.
1948 දී ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනිව සිටියේ ජපානයට පමණි. වසර හැත්තෑකවට පෙර නිදහස ලබා ගන්නා සමයේ දී ආර්ථික වර්ධන වේගය අතින් ආසියාවේ ජපානය පමණයි ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියේ. එහෙත් තායිලන්තය, කොරියාව, මැලේසියාව ඇතුළු රටවල් සිටියේ ශ්‍රී ලංකාවට පසුපසිනි. එදා මුඩුක්කු ප්‍රදේශය කොරියාව ලෙස අපේ ජනතාව හැඳින්වූව ද ඉන් වසර හැත්තෑවකවට පසු ශ්‍රී ලංකාවේ තරුණයෝ රැකියා සොයා කොරියා යන තත්ත්වයට එම රට දියුණු වී ඇත. එහෙත් ලංකාවේ ජාති ආගම් හා දේශපාලන භේදයෙන් කුලල් කා ගන්නා රටක් බවට පත්ව ඇතැයි හෙතෙම සඳහන් කළේ ය. සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූ මැතිතුමාගේ සිය ජීවිත කතාව කෘතියක් ලෙස පළ කරද්දී එයින් පිටු දහයක් පමණ ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර ඇත. ඔහු සඳහන් කරන්නේ නිදහස ලබා ගනිද්දී පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබූ ආදර්ශවත්ම රට ශ්‍රී ලංකාව බවයි. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල දහය අතුරෙන් හත් වැනි තැන එදා පේරාදෙණිය සරසවියට හිමි විය. ආසියාවේ හොඳම පොලිස් සේවය, රාජ්‍ය සේවය එදා ශ්‍රී ලංකාවේ පැවැතිනි. එදා සිලෝන් ලෙස හැදින්වූ ශ්‍රී ලංකාවට නිදහස ලබා දෙන දවසේ එංගලන්තයේ ටයිම්ස් පුවත්වතේ කතුවැකියේ සඳහන්
වූයේ වැඩිකල් නොගොස් ශ්‍රී ලංකාව ආසියාවේ ස්වීට්සර්ලන්තය වන බව ය. ඊට හේතු ලෙස දක් වුණේ ශ්‍රී ලංකාව මිනිස් සහ ස්වාභාවික සම්පතින් අනූන දිවයිනක් වීමය. නිදහසෙන් පසු ශ්‍රී ලංකාව ගමන් කළේ ජාතිවාදය, ආගම්වාදය, කුල භේදය පමණක් නොව පක්ෂ භේදය දෙසට ය. එහි ප්‍රතිඵලය වූයේ තරුණ කැරලි දෙකක් සහ වසර 30ක් දිග්ගැස්සුණු යුද්ධයකි. උතුරේ හෝ දකුණේ හෝ ඒවායින් මිය ගියේ රටට වැඩදායී තරුණ කොටස් ය. වසර 30 යුද්ධය අවසානයේ ද අප රට සාමයේ මාවතට අවතීර්ණ නොවී යුද්ධයේ මුවාවෙන් ඒකාධිපති මාර්ගය ඔස්සේ ගමන් කරන්නට ඇතැමුන් උත්සහ කළ ද 2015 දී එම ප්‍රයත්නය ව්‍යර්ථ විය.
ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධන යන කුලුනු තුන මත ය. අද ශ්‍රී ලංකාව තරු පහේ නොව තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයකින් හෙබි රටකි. ජනාධිපතිවරයා, අගමැතිවරයා වුව විවේචනය ලක් කළ හැකි, ඔවුන් සම්බන්ධයෙන් වුව අසත්‍ය ප්‍රචාර පැතිරවිය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇත. මාධ්‍යවේදීන්ට නිදහසේ සිය පෑන මෙහෙයවීමට වරම් හිමිව තිබේ. ඔවුන් කිසිවකු පසුපස සුදු වෑන් හඹා යන්නේ නැත. විශ්ව විද්‍යාල සිසුහු ඕනෑම ප්‍රශ්නයක් වෙනුවෙන් උද්ඝෝෂණ කරති. කොමිසන් සභාවක් ඉදිරියට යාමට අගමැතිවරයාට සිදු වූ විට ඔහු එයා මග නොහැර ඊට සහභාගී වෙයි. 1980 ගණන්වලින් පසු මුල් වරයට අමාත්‍යවරු දෙදෙනක් ඉල්ලා අස්වූහ. මේ සැමකකින් ම වැටහෙනුයේ බටහිර රටවල් හා සමාන ප්‍රජාතන්ත්‍රවාදයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව මංගල සමරවීර මහතා මෙහි දී සිහිපත් කළේ ය.
සංහිඳියාව ද රටේ සංවර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයකි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ මේ සියලු ජාතීන්ට එක්ව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර දී ඇත්තේ එහෙයිනි. එහෙත් සිංහ ලේ, දෙම ලේ, මුස්ලිම් ලේ ආදී වශයෙන් වූ විවිධ ජාතිවාදී අවතාර තව දුරටත් අප අතර පවතියි. එහෙත් ඔවුන්ට කිසි විටෙක රට ආපස්සට හැරවීමට ඉඩ ලබා දිය යුතු නැතැයි කීය.
2015 දී අපට ලැබුණේ ණය බරෙන් මිරිකුණු රටකි. එහෙත් 2017 දෙසැම්බර් මාසය වන විට වසර හැටකට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ගැනීමට අපට හැකි විය. ඉතිහාසයේ වැඩිම අපනයනය අපි පසුගිය වසරේ වාර්තා කළෙමු. ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජන අපට ලැබිණි. පසර 13කට පසු අඩුම විරැකියා අනුපාතය වාර්තා කළෙමු. මේ සියල්ල සිදු කළේ දැවැන්ත ණය බරකට උර දෙමිනි. මේ වසරේ දී පමණක් අපට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 2845කි. එය අපේ රටේ ආදායමෙන් 90%කටත් අධික මුදලකි. එහෙත් මේ මුදලින් 63%ක් ම 2015ට පෙර ලබා ගත් ණය වෙනුවෙන් ගෙවීමට සිදුව ඇත. ලබන වසරේ තත්ත්වය මීටත් බරපතල ය. ලබන වසරේ දී ගෙවීමට ඇති ණය මුදල රුපියල් බිලියන 4285කි. ඉන් 77%ක්ම 2015ට පෙර ලබා ගත් ණය වේ. 2020දී අපට ගෙවීමට ඇති ණය මුදල වන රුපියල් 3768න් ද 78%ක් ම 2015ට පෙර ලබා ගත් ණය වෙනුවෙන් ගෙවීමට සිදුව ඇත.
මෙම ණය ගෙවීම සඳහා අප ආදායම් වැඩි කර ගත යුතු ය. නව දේශීය ආදායම් පනත හඳුන්වා දෙනු ලැබුවේ ද ඒ වෙනුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාසයේ පමණක් නව බදු ගොනු 46,000ක් අලුතෙන් විවෘත වී ඇත. අපේ රටේ ආදායමෙන් 82%ක් ම ලැබෙන්නෙ වක්‍රබදු මගිනි. ඍජු බදු මගින් ලැබෙන ආදායම 18%ක තරම් අඩු අගයක පවතී. වක්‍ර බදු ගෙවන්නේ දුප්පත් ජනතාවයි. ඔවුන්ගේ එදා නෙදා පරිභෝජන භාණ්ඩ වෙනුවෙන් ගෙවන මුදල් මෙම වක්‍ර බදු බවට පත්වේ. බෙන්ස් රථයකින් පැමිණි පුද්ගලයා ද අහිංස කම්කරුවාද වක්‍රබදු ගෙවන්නේ එකම ප්‍රමාණයකි. මෙය රටකට ඉතාම අසාධාරණ තත්ත්වයකි. ඒ අනුව මෙම බදු අනුපාතය 2020 වන විට 40:60 දක්වා වෙනස් කිරීම රජයේ අරමුණය. මාගේ අපේක්ෂාව වන්නේ 2020 වන විට වැට් බද්ද අඩුම තරමින් 2.5%කින් හෝ පහළ දැමිය යුතු ය යන්න ය.
රේගු දෙපාර්තමේන්තුව ගැන ද මෙහි දී වචනයක් සඳහන් කළ යුතු ය. රේගුව විශාල ආදායම් ලබන තැනකි. එහෙත් ඒ ආදායම හා සමාන දූෂණයක් ද දෙපාර්තමේන්තුව තුළ සිදු වේ. මෙමගින් රටට අහිමිවන ආදායම වත්මන් ආදායමට සමාන ය. එබැවින් නව රේගු පනත අවශ්‍යතාව දැඩි ලෙස මතුවෙමින් ඇත. ලබන අයවැයට පෙර නව රේගු පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ අපේක්ෂාව බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, භාණ්ඩාගාර නියෝජන ලේකම්වරුන් වන චන්ද්‍රා ඒකනායක, ඒ.ආර්. දේශප්‍රිය, රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීහු සහ පත්වීම්ලාභීන්ගේ මාපියෝ ඇතුළු පිරිසක් එක් වූහ.