රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අය-වැයෙන් වෙන් කරන මුදල් පිළිබඳ නිසි අධික්ෂණයක් හෝ පසු විපරමක් පසුගිය පාලන සමයේ දී සිදු කර නොමැති බවත් එම නිසා රටේ නාස්තිය දූෂණය ඉහළ ගොස් තිබූ බවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඊයේ (18) පැවැසීය.

 

රාජ්‍ය මූල්‍යපාලනය පිළිබඳ පාර්ලිමේන්තුවේ කාර්යභාරය ද නිසි පරිදි ඉටු කළේ නම් රටේ ආර්ථිකය මෙතරම් අයහපත් තත්ත්වයකට පත් නොවන බවත් රටේ මුදල් පාලනය සඳහා ජනතාව තෝරා පත් කර එවූ ජනතා නියෝජිතයන් 225දෙනා සිය කාර්යභාරය නිසි පරිදි ඉටු කළ යුතු බවත් ඇමැතිවරයා ‍පෙන්වා දුන්නේය. රජයේ මුදල් පාලනය හා අධීක්ෂණය කිරීමට 1948 සිට රාජ්‍ය ගිණුම් කාරක සභාව පත් කර තිබූණත් නිසි කලට වේලාවට රජයේ ගිණුම් අධීක්ෂණය කර නොමැති බව පැවැසූ ඇමැතිවරයා 2015න් පසුව රජයේ ගිණුම් පිළිබඳ වාර්තා 5ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් අද (19) 2016 වසරට අදාළ ගිණූම් වාර්තාව ඉදිරිපත් කරන බවත් බවත් කියා සිටියේය.
රජයේ ගිණුම් කාරක සභා වාර්තා පිළිබඳ අද (19) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති වැඩමුළුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය. රාජ්‍ය මූල්‍ය ශක්තිමත් හා නිසි කළමණාකාරිත්වයෙන් පවත්වාගෙන යාමට පිටිවහලක් වන විගණන පනත කඩිනමින් සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය වසර දහයේ කෝපා (රාජ්‍ය ගිණුම් කාරක සභාව ) කමිටුවේ කාර්යභාරය ප්‍රමාදව සිදු වූවත් 2016 වසරේ සිට වත්මන් කෝපා කමිටුව වාර්තා හයක් ඉදිරිපත් කර ආයතන 125ක් පිළිබඳව විමර්ශනයට ලක් කර ඇති බවත් ඇමැති අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේය. කෝපා සහ කෝප් කාරක සභා දෙක රටේ හොරු අල්ලන්න දඬුවම් දෙන්න තියෙන ආයතන දෙකක් කියලා රටේ ජනතාව අතර මතයක් තියෙනවා. ඒකත් එක කරුණක් තමයි. මේ ආයතන දෙක මෙරට ක්‍රියාත්මක නොවුණානම්රටේ මුල්‍ය පාලනය මුල්‍ය විනය මීට වඩා පිරිහී ගිහිවන්. රටට මුදල් අහිමිවීමෙන් පසුව ඒ පිළිබඳව පරීක්ෂණ කර වැඩක් නැහැ. රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා සිදුවීමට පෙර ඒවා අවම කර ගැනීමට කටයුතු සම්පාදනය කළ යුතුයි. කෝපා කමිටුවේ දර්ශනය තමයි රාජ්‍ය ආයතන අඩුපාඩුකම් අවම කිරීම. රටේ මුල්‍ය පාලනය හා අධීක්ෂණය කිරිමේ වගකීම පාර්ලිමේන්තුව සතුයි. අයවැයෙන් වෙන් කරන මුදල් පිළිබඳ නිසි අධීක්ෂණය හා පසු විපරම නොතිබූ නිසා නාස්තිය දූෂණය පසුගිය වසර 10යේ සිදුව තිබෙනවා.
කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තුවේ සහකාර නියෝජ්‍ය මහලේකම් ටිකිරි ජයතිලක, විගණකාධිපති ගාමිණි විජේසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.