අයවැය යෝජනාවක් මඟින් 2016 ජනවාරි 01 දා සිට පෞද්ගලික රෝහල්වල වෛද්‍ය උපදේශන ගාස්තු, චැනල් ගාස්තු සහ වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු සඳහා පනවා තිබූ සියයට 15%ක වැට් බද්ද ජූලි මස 01 දා සිට අහෝසි කෙරේ.

ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය ඇමැතිතුමාගේ ඉල්ලීම පරිදි තමා විසින් ඉදිරිපත් කළ යෝජනාව  කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (19) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසී ය.
මීට පෙර බාහිර රෝගී අංශ මඟින් ප්‍රතිකාර ගැනීමේ දී අය කළ වැට් බද්ද ඉවත් කරන ලදී. එහෙත් පෞද්ගලික රෝහල්වල කාමර ගාස්තු සඳහා පනවා තිබූ වැට් බද්ද එසේම පවතිනු ඇත. වර්තමානයේ දී අඩු ආදායම්ලාභී සාමාන්‍ය ජනතාව පෞද්ගලික අංශයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට වැඩි වැඩියෙන් යොමු වී සිටින අතර ඔවුන්ට සහනයක් වශයෙන් මෙම වැට් බද්ද ඉවත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
සෞඛ්‍ය සඳහා 2014 පෙර පැවැති රජය වෙන් කළේ දළ දේශීය ආදයමෙන් සියයට 01%ක් පමණි. එහෙත් වත්මන් රජය එම මුදල තුන්ගුණයකින් වැඩි කොට තිබේ. 2020 වනවිට සෞඛ්‍ය සඳහා රජය විසින් වෙන්කරන මුදල සියයට 5% දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.
ලේඛකයින්ගේ කර්තෘ භාගයෙන් බදු අයකිරීම ලේඛක සංවිධානවල ඉල්ලීම පරිදි වාර්ෂික ආදායම රුපියල් 50,000 ට වැඩි හා රුපියල් එක් ලක්ෂය ඉක්මවා ආදයම් ලබන අයගෙන් පමණක් අය කරගැනීමට පියවර ගෙන තිබේ.
රජයට මේ සියලු සහන ලබාදීමට හැකිව තිබෙන්නේ, මහජනතාවගෙන් අය කරන බදු මුදලින් නව බදු පනත 2018 අප්‍රේල් 01 දා සිට ක්‍රියාත්මක වීමෙන් පසු අලුත් බදු ලිපි ගොනු 69000ක් පසුගිය මාස දෙක තුළ දී විවෘත කොට ඇති අතර මහජනතාව බදු ගෙවීමට ඇති කැමැත්ත මෙයින් පැහැදිළි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.