ශ‍්‍රී ලංකාවේ වාරි ක්ෂේත‍්‍රයේ ආරම්භයේ සිට මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිර්මාණය දක්වා තොරතුරු ඇතුළත් කරමින් ශ‍්‍රී ලංකා මහවැලි කේන්ද්‍රය මගින් ප‍්‍රකාශයට පත්කර ඇති “හෙළ වාරි පුරාවත” ග‍්‍රන්ථය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.


ඒ ඒ විෂය ක්ෂේත‍්‍ර සඳහා ප‍්‍රවීණතාවයක් උසුලන හා දිවයිනේ කීර්තිමත් විද්වතුන් 25 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දන රෝහණ විතානච්චි මහතා විසින් ග‍්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ඉතා කාලීන වැදගත්කමකින් යුත් මෙම ග‍්‍රන්ථය ජනගත කිරීම සඳහා මහවැලි කලාපවල වාරි ක්ෂේත‍්‍රයට අදාළ සියලු නිලධාරීන් දැනුවත් කර සුදුසු වැඩපිළිවෙළක් සම්පාදනය කර ලෙස ද මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ සඳහා තම උපරිම සහය ලබාදෙන බව ද පැවසීය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජනරාල් අරුණ ප‍්‍රසාද් ලේකම්ගේ යන මහත්වරු ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.