ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීමේ අරමුණින්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක‍්‍රියාවට නංවනු ලබන 2018 “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක‍්‍රමය සදහා අයදුම්පත් කැදවීම මේ වන විට ආරම්භ කර ඇත.

මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන් සදහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ තුනක(රු.300,000.00) උපරිමයකට යටත්ව පොළී රහිත ණය මුදලක් හෝ තමන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු කරගැනීම සදහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක(රු.150,000.00) උපරිමයකට යටත්ව පවතින පොළී අනුපාතයෙන් 50% ක පොළී සහනයක් යටතේ ණය ලබා දෙනු ඇත.
වසර තුනක සේවා කාලයක් සපුරා ඇති වයස අවුරුදු 60ට අඩු දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන් හට මෙම “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක‍්‍රමය සදහා අයදුම් කළ හැකිය.

පරිගණක (ලැප්ටොප්/ඩෙස්ක්ටොප්/අයිපෑඞ්), කැමරා, ෆැක්ස් යන්ත‍්‍ර, ඩිජිටල් පටිගත කිරීමේ යන්ත‍්‍ර සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ කරනු ලබන මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට හෝ වැඩිදියුණු කර ගැනීම සදහා මෙම ණය මුදල ලබා දෙනු ඇත.

මාධ්‍ය අරුණ ණය යෝජනා ක‍්‍රමය සදහා සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2018.07.31 දින හෝ එදිනට පෙර ලැබෙන සේ අධ්‍යක්ෂ (මාධ්‍ය), මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

2017 වර්ෂයේදී මෙම ණය යෝජනා ක‍්‍රමය සදහා මාධ්‍යවේදීන් 823 දෙනෙකු තෝරා ගන්නා ලදී.


මේ පිළිබදව වැඩි විස්තර හා අයදුම්පත් සදුනි මෙනවිය හෝ චන්දන මහතා දුරකථන අංක 0112513645/ 0112513459/ 0112513460 මගින් අමතා හෝ www.media.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැක.