වගකීම් සහිත වෘත්තීය ක්ෂේත්‍රයක පෙළහර පෑ සැමගේ ඇගයුමට ලක්වූ මාධ්‍යවේදියෙක්


ජනාධිපතිතුමන්ගේ ශෝක පණිවිඩය


සතිඅන්ත ජාතික පුවත්පත සිළුමිණ සහ දිනපතා ජාතික පුවත්පත ‘රැස’ ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ අභාවය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සොව පළ කර සිටී. එම පණිවිඩය මෙසේය.
සිළුමිණ සහ රැස යන පුවත්පත්හි ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ හදිසි අභාවය සැලවීමෙන් ‍මම ඉමහත් සේ සංවේගයට පත්වීමි.
අතිශය වගකීම් සහගත මෙන්ම සමාජ ප්‍රගමනය උදෙසා බෙහෙවින්ම තීරණාත්මක වෘත්තීය ක්ෂේත්‍රයක චාමර ලක්ෂාන් පෑ පෙළහර සිය මාධ්‍ය සගයන්ගේ නිබඳ ඇගයීමට ලක්ව තිබේ. ලක්බිම, රිවිර හා ඉරුදින යන පුවත්පත් වෙතින් ස්වකීය වෘත්තීය පන්නරය ලබාගත් හෙතෙම ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයට නවමු මුහුණුවරක් හඳුන්වාදෙමින් මෑතකදී කල එළි දුටු රැස පුවත්පතෙහි සමාරම්භක කතුවරයා වීමේ භාග්‍යය ද හිමිකර ගත්තේය. ඒ සමඟම කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන සිළුමිණ පුවත්පතට නායකත්වය ‍ලබාදුන් ළාබාලතම කතුවරයා වෙමින් ලාංකීය පුවත්පත් වංශ කතාවෙහි තම ස්ථානය ස්වර්ණ වර්ණයෙන් සනිටුහන් කළේය.
එවන් දුලබ හිමිකම් උදෙසා චාමර ලක්ෂාන් වෙත මග කියාදුන්නේ ඔහුගේ වගකීම් සහගත මාධ්‍ය භාවිතයයි. දැනුවත් ප්‍රජාව මාධ්‍යකරුවකුගෙන් අපේක්ෂා කර සිටින සත්‍යවාදී, නිවැරදි හා සාධාරණ වෘත්තීය ක්‍රියාකාරිත්වයක් තුළ සිය මාධ්‍ය ජීවිතය ඔපවත් කළ හෙතෙම අධිපතිවාදී දේශපාලන බලයකට හෝ වෙනත් වරදානයකට කිසිවිටෙක යටත් නොවීය. සමාජ වගකීම ‍කෙරෙහි වූ පරම පක්ෂපාතිත්වය තුළ මාධ්‍යවේදියකු ලෙස නිරතුරුවම ක්‍රියාකාරී වූ චාමර ලක්ෂාන් මහතාගේ අකල් නික්ම යාම සමස්ත ජනමාධ්‍ය ප්‍රජාවට මෙන්ම යුක්තිගරුක සමාජයට ද බලවත් පාඩුවක් වන්නේ එබැවින්ය.
චාමර ලක්ෂාන් කුමාර මහතාගේ වියෝවෙන් සොවින් තැවෙන ඔහුගේ ආදරණීය භාර්යාව වන දිනූපා දිල්හානි මහත්මියට හා කුඩා පුතණුවන්ට ද, ඔහු වන් පුත්‍ර රත්නයක් මෙලොවට දායාද කළ ආදරණීය දෙමව්පියන්ට ද, පවුලේ අනෙකුත් සමීපතමයන් වෙත ද මාගේ බලවත් සංවේගය පළ කරන අතර, අභාවප්‍රාප්ත චාමර ලක්ෂාන් කුමාර මහතාට උතුම් වූ නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනය කරමි.
**********************


මාධ්‍ය ක්ෂේත්‍රයේ නව දැක්ම නිසාම ජයග්‍රහණ රැසක් අත්කරගත් සුවිශේෂී තරුණ මාධ්‍යවේදියෙක්


අගමැතිතුමන්ගේ ශෝක පණිවිඩය


ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නව දැක්මකින් සහ මහත් ජවයකින් කටයුතු කිරීම නිසා ඉතා කෙටි කලකින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් සුවිශේෂ තරුණ මාධ්‍යවේදියකු ලෙස චාමර ලක්ෂාන් මහතා හැඳින්වීම යුක්තිසහගත යැයි ඒ මහතාගේ අභාවය පිළිබඳ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.
ලක්බිම, රිවිර වැනි පුවත්පත්වල කලක් සේවය කළ මේ තරුණ මාධ්‍යවේදියා පැවැති දුර්ධාන්ත පාලන සමය නිමාකොට නව රජය බලයට පත් කිරීම සඳහා මහත් කැපවීමකින් කටයුතු කළේය. නව රජය යටතේ දිනමිණ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයකු වූ චාමර මහතා ලේක්හවුස් ගමන් මඟට නව ජවයක් එක් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ බව අපි දනිමු.
ඔහුගේ කර්තෘත්වයෙන් ආරම්භ කළ රැස පුවත්පත ඉතා කෙටි කලකින් පාඨක ප්‍රසාදය දිනාගත් අතර, චාමර ලක්ෂාන් මාධ්‍යවේදී භූමිකාවත්, පරිපාලන භූමිකාවත් මනා සංහිඳියාවකින් පවත්වා ගන්නා දක්ෂ මාධ්‍යවේදියකු බවට ‘රැස’ සාක්ෂි දැරීය.
ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ දැවැන්තයන් මුල් පුටුව දැරූ ‘සිළුමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරයට පත් ලාබාලතම කතුවරයා වූ චාමර එහි අතීත ගුණ සුවඳ රැක ගනිමින්ම නූතන ලොව හා යා කිරීමට බරපතළ වෙහෙසක් දැරුවේය.
නමුත් මාධ්‍ය ලෝකයට සිළුමිණක් විය හැකිව තිබූ මේ තරුණ මාධ්‍යවේදියා හදිසියේම අප අතරින් සමුගැනීම ලේක්හවුස් ආයතනයට, අප රජයට මෙන්ම සමස්ත දේශයට සිදු වූ බරපතළ පාඩුවකි.
සිළුමිණ ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් මහතාගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැමට ඥාති හිත මිත්‍රාදීන්ට මාගේ බලවත් සංවේගය පළ කරමින් ඒ මහතාට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

**********************


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ශෝක පණිවුඩය

ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක මංපෙත් විවරකර ගැනීමට ඉතා කෙටි කලක් ඇතුළත සමත්කම් පෑ චාමර ලක්ෂාන් නම් වූ තරුණ මාධ්‍යවේදියා දැයෙන් සමුගැනීම, හෙට දවස ගැන යහපත් බලාපොරොත්තුවක් ඇති මේ රටේ සෑම පුද්ගලයකුගේම හදවත් කම්පා කරවනු නිසැකය.
ලක්බිම, ඉරුදින, රිවිර පුවත්පත් තුළ සේවයට එක්වෙමින්, සිය දැක්ම සහ ජීව ගුණය ඔප්නැංවා ගැනීම වෙනුවෙන් එකී සේවාස්ථාන ගුරු විදුහලක් බවට පත්කර ගැනීමට මෙම අධිෂ්ඨානශීලී තරුණයා සමත් වී ඇති අයුරු පසුකාලයේ ඔහුගේ මාධ්‍ය භාවිතාව සපථ කරයි.
2015ට පෙර පැවැති දුර්දාන්ත පාලක රෙජිමයේ භීම පාලනයට එරෙහිව අභීතව නැගීසිටි මාධ්‍යවේදී අතලොස්ස අතරේ තරුණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන්, දැක්මක් සහිත සිය අභිප්‍රාය සඵල කරගැනීමේ අරමුණින් නොබියව සිය තෙලිතුඩ හැසිරවීය. එසේම යහපාලන ආණ්ඩුව පත්කිරීම සඳහා පමණක් නොව එහි ගමන් මගේ නිවැරදි දිශානතිය වෙනුවෙන් ද දැඩි වගවීමකින් කටයුතු කළේය.
“දිනමිණ“ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයෙකු වශයෙන් ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදරට පියනැගූ ලක්ෂාන් මහතා ඉතා කෙටි කාලයක් තුළ ලේක්හවුස් ගමන්මගට නව පිටුවක් විවර කරලීමට මහත් පරිශ්‍රමයකින් හා කැපවීමකින් කටයුතු කළේය.
“රැස“ දිනපතා පුවත්පත ආරම්භ වන්නේ, ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ රටේ තරුණ පරම්පරාව අතර ඉතා කෙටි කළක් තුළ මහත් ප්‍රසාදයක් අත්පත් කර ගැනීමට ලක්ෂාන් මහතාගේ කර්තෘත්වයෙන් යුත් “රැස“ පුවත්පතට හැකි වූ බව නොරහසකි.

“සිළුමිණ“ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය හිමි කරගත් ලාබාලතම කතුවරයා වූ චාමර ලක්ෂාන් තරුණ මහතා අතීතයේ සුප්‍රසිද්ධ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී දැවැන්තයන්ගේ නම් ලැයිස්තුවට සිය නම ද එක්කර ගැනීමට සමත් වීම ඔහුගේ දැඩි උත්සාහයේ සහ කැපවීමේ මහඟු ඵලයකි. “සිළුමිණ“ට ආවේනික වූ සමාජ, සංස්කෘතික සහ දේශපාලනයේ හැඩතල විවරණයන්ට හානියක් නොවන සේ එහි අනාගතය වෙනුවෙන් නවීනත්වය ඈඳා ගැනීමට දැරූ පරිශ්‍රමය ප්‍රසංසනීය බව සිහිපත් කරමු.
දේශපාලන විචාරකයකු, පරිණත මාධ්‍යවේදියකු වූ චාමර ලක්ෂාන් තරුණ මාධ්‍යවේදියාගේ හදිසි වියෝවීම මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මුළුමහත් සමාජයටම දැරිය නොහැකි බරපතල පාඩුවකි.
ඡවයෙන් පිරි අභීත මාධ්‍යවේදියාගේ හදිසි වියෝවෙන් ශෝකයට පත් පවුලේ සැමට, ඥාති හිතමිතුරන්ට මාගේ බලවත් සංවේගය පළ කරමි. ‘සැතපුම් දහස් ගණනක දිගු ගමණක් ආරම්භ කරන්නේ එක් තනි පියවරකිනි.’ යන කියමන සිය ජීවිතයේ ආත්ම භාවිතය කරගත් චාමර, ඔබට මාගේ හෘදයාංගම ආචාරය!