දහම් අධ්‍යාපනය ලබාදෙමින් යහපත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් පසළොස්වක පොහොය දින සහ ඉරිදා දින පෞද්ගලික පංති පැවැත්වීම පිළිබඳ නිසි වැඩපිළිවෙළකට එළැඹිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ව්‍යවස්ථාපිත තත්ත්වයන්ට වඩා මේ සඳහා වැදගත් වන්නේ සදාචාර සම්පන්න සමාජයක් පිළිබඳ සියලුදෙනා අවබෝධයෙන් යුතුව තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ පෞද්ගලික උපකාරක පන්ති හේතුවෙන් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය අඩපණ වීම වළක්වා ගැනීම ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉතා දීර්ඝ කාලයක සිට මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලු ආගමික නායකයින්ගෙන් මෙන්ම විද්වතුන්ගෙන් ද මේ පිළිබඳ දැඩි ඉල්ලීමක් පවතින බවයි.
ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන් පළාත් සභා මට්ටමින් මේ වන විට විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක වන නමුත් දීප ව්‍යාප්ත මට්ටමින් පොදු වැඩසටහනක අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරියේදී ප‍්‍රථමයෙන් මේ පිළිබඳ උපකාරක පංති පවත්වන ආචාර්යවරුන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගෙන් දැඩි ඉල්ලීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
ඉන් අනතුරුව දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ගත හැකි පියවරයන් පිළිබඳ ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කිරීමේ හැකියාව සොයා බැලීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
මේ අතර දහම් අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් දිරි ගැන්වීමේ විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා, දහම් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට මෙන්ම දහම් පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීමට අනුගමනය කළයුතු වැඩසටහන් පිළිබඳව ද නිලධාරින්ගේ අවධානය යොමු කළේය.
දහම් පාසල් ගුරුවරුන් දිරි ගැන්වීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
සමාජයට දැනුමෙන් මෙන්ම හැදියාවෙන් පිරිපුන් මිනිසෙක් බිහි කරන්නේ දහම් අධ්‍යාපනය බව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිතුමා දිනෙන් දින සමාජය තුළ හිස ඔසවන ප‍්‍රචණ්ඩත්වය, මවට පියාට, වැඩිහිටියන්ට නොසලකන අධර්මිෂ්ඨ සමාජය බිහිවන්නේ වත්මන් පරපුරට නිසි දහම් අධ්‍යාපනයක් නොලැබීම හේතුවෙන් බව ද කියා සිටියේ ය.
මෙහිදී අදහස් දැක්වූ මහා සංඝරත්නය පෙන්වා දුන්නේ දශක හතර, පහක සිට මේ රටේ සියලු රාජ්‍ය නායකයින් සමග මේ පිළිබඳව සාකච්ඡා කළ ද ඒ උදෙසා ඒ කිසිවෙකුගේ නිසි මැදිහත්වීමක් සිදු නොවූ බවයි. සදාචාරවත් සමාජයක් අගයන නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම මහා සංඝරත්නයේ ඇගැයීමට ලක්විය.
මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවල ඤාණරතන ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, ඩී. එම්. ස්වාමිනාදන්, එම්. එච්. ඒ. හලීම්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ ආණ්ඩුකාරවරු, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු ද, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

dhaham

dhaham edu

{jathumbnail off}