ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල  - 2018 නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය අද (6) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නව ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ගරු මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය.

විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර, ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය අගයනු වස් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙම සම්මාන උළෙල ප්‍රථම වරට පැවැත්වීමට නියමිතය.

මෙහිදී ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ගරු මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා දැක්වූ අදහස්,

ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා

ජනමාධ්‍ය කලාවේ ගරුත්වය ආරක්ෂා කරගනිමින් සත්‍ය තොරතුරු ජනතාවට ලබා දෙන මාධ්‍යවේදීන් පිරිසක් බිහිකිරීමෙන් යළිත් සම්භාව්‍ය මාධ්‍ය කලාවක් අනාගතයේ දිනෙක මෙරට බිහි කරන්නට හැකි බවත් වැරැදි පුවත් නැවැත්වීමට හෝ ඊට අභියෝග කිරීමට ඇති එකම මාර්ගය සත්‍ය පුවත් ජනතාවට ලබා දෙන මාධ්‍ය අගය කිරීම මිස වැරැදි තොරතුරු සමාජ ගත කරන මාධ්‍ය තහනම් කිරීම හෝ වාරණය කිරීම නොවන බව ද සමරවීර මහතා අවධාරණය කළේය. එම ගෞරවනීය මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමේ පළමු පියවර ලෙස ජනමාධ්‍ය සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කර තිබෙන බවද හෙතෙම සදහන් කළේය.වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ඇති කිරීමේ අරමුණෙන් මෙම යෝජනාව සති කිහිපයකට පෙර කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගැනීමට අපට හැකියාව ලැබුණා. ජනාධිපතිවරයාගේ අනුග්‍රහය ඇතිව. ඒ අනුව මේ සම්මාන උළෙල මෙම වසරේ දෙසැම්බර් 19 වැනිදා පැවැත්වීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් මාධ්‍ය සමාජයේ සිටින දක්ෂ වගේම නිර්මාණශීලී ජනමාධ්‍යවේදීන් හඳුනාගෙන ඒ අයගේ හැකියාවන්ට සම්මාන ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි නිරන්තරයෙන් මාධ්‍යයට දොස් කියනවා. පසුගිය අවුරුදු කිහිපයේ මාධ්‍යයේ මේ සෘණ පැත්ත ගැන මං බොහෝ විට කතා කළා. නමුත් අපි නිතරම හොඳ පැත්ත ගැනත් කතා කරනවා. එදාට වඩා අද ජනමාධ්‍ය කලාව අභියෝගයට ලක් වෙලා තිබෙන්නේ මේ අලුත් තාක්ෂණය නිසයි. විශේෂයෙන් සමාජ ජාල ජනතාව අතරට ව්‍යාප්ත වීම නිසා මේ තත්ත්වය ඇති වෙලා. තමන්ගේ ජංගම දුරකතනයෙන් මුහුණු පොතට දාන අදහස තප්පර ගණනකින් මුළු ලෝකයටම දකින්න පුළුවන්. මේ තත්ත්වය නිසා ම ජනමාධ්‍ය කලාවේ වගකීම් එදාටත් වඩා අද වැඩි වෙලා. අද ෆේක් නිවුස් කලාව ඇමරිකාව වැනි රටවල්වලටත් අභියෝගයක් වෙලා. නමුත් මේ ෆේක් නිවුස් නවත්වන්න හෝ ඊට අභියෝග කරන්න අපිට තිබෙන මාර්ගය පුවත්පත්, සමාජ මාධ්‍ය, ෆේස්බුක් තහනම් කිරීම නොවෙයි. වාරණ කිසිසේත් සුදුසු පිළිතුරක් නොවනවා වගේම එය කරන්නත් බැහැ.
තහනම් කළත් වෙනත් ආකාරයකින් හෝ ගොස් එය බලන්න පුළුවන්. මේ ෆේක් නිවුස් වලට මුහුණ දෙන්න ශක්තිය තිබෙන්න ඕනේ. ශක්තිය නැත්නම් නොබලා ඉන්න ඕනේ. මේ තත්ත්වය වළක්වා ගන්න නම් අපි කරන්න ඕනේ ජනමාධ්‍ය කලාවේ නිවැරැදිව නියැළෙන අයව අගය කිරීමයි. තොරතුරු විකෘති කරන අය මෙන්ම ජනමාධ්‍ය කලාව තමන්ගේ වාසියට, ධනය උපයන්න බලාගෙන තවත් අයෙක්ට මඩ ගහන්න යොදා ගන්න අය ගැන කතා කර කර ඉන්නවට වඩා ජනමාධ්‍ය කලාවේ ගරුත්වය තබා ගෙන කටයුතු කරන අයව අගය කිරීමෙන් ඊළඟ පරම්පරාවට, ජනතාවට යළිත් වතාවක් සම්භාවනීය ගෞරවනීය ජනමාධ්‍ය කලාවක් බිහි කර දිය හැකියි.
සත්‍ය ජනතාව අතරට ගෙන යන විශිෂ්ට ජනමාධ්‍යවේදීන් අගය කිරීමක් ලෙසයි අපි මේ සම්මාන උළෙල දකින්නේ. අලුත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙන් පහර කෑ අයකු වුවත් ජනාධිපතිවරයා ගෞරවාන්විත ජනමාධ්‍යවේදීන් අගය කළ යුතුයි කියන තැන ඉන්නවා. මෙම සම්මාන උළෙල ගෞරවනීය මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමේ පළමු පියවර ලෙසයි මා දකින්නේ. මෙම සම්මාන උළෙලේ තේරීම් කටයුතු සිදු කරන්නේ දේශපාලනඥයින් නොවන ජුරියක් විසිනුයි. පසුගිය යුගයේ මාධ්‍යවේදීන් දේශපාලන පලි ගැනීමට ලක් වුණා. මාධ්‍යවේදීන්ට පහර දුන්නා. ඝාතනය වුණා ඒ අය ගැනත් මෙතැනදී අපි මතක් කළ යුතුයි.


ගරු මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මැතිතුමා

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්ම දෙය වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයයි. මාධ්‍ය නිදහස රටකට ඉතා අවශ්‍යයි. එය ලබා දීම අපේ වගකීමයි. පසුගිය දා අමිල ස්වාමීන් වහන්සේ කතාවක් කරමින් කිව්වා තමන් වර්තමාන ජනාධිපතිතුමා ගැන විවේචනය කළත් රජ ගෙදරින්වත් අරලිය ගහ මන්දිරයෙන්වත්, පොළොන්නරුවෙන්වත්, ප්‍රදේශීය දේශපාලනඥයෙක්ගෙන්වත් ටෙලිෆෝන් කෝල් එකක් ආවේ නැහැ කියලා. උන්වහන්සේගේ ඒ ප්‍රකාශයෙන් එදා රටේ තිබු වාතාවරණය හා අද තිබෙන වාතාවරණය පැහැදිලි වෙනවා. ඒ නිසා මෙයට අපිට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල කියලා ගෞරවයෙන් කියන්න පුළුවන්කම තිබෙනවා. මේ රජයේ අඩුපාඩු තිබෙන්න පුළුවන්. නමුත් වර්තමාන ඉතිහාසයේ මේ තරම් මාධ්‍ය නිදහස තිබු කාලයක් තවත් තිබිලා නැහැ. මේ උළෙල තවත් තරුණ තරුණියන්ට මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න උනන්දු කරවන්නක් වෙයි. මේ ක්ෂේත්‍රයට එන්නේ මුදල් බලාගෙනම නොවෙයි. මේ ක්ෂේත්‍රයට එන්න ඕනේ දක්ෂකම්, සමාජය ගැන දැනුම, යම් දර්ශනයක් ඇති පිරිසක්. ඒ සදහා මෙම සම්මාන උළෙල වැදගත් වනු ඇතැයි සිතනවා.


ගරු මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මැතිතුමා

මෙරට ප්‍රථම වරට ජනාමාධ්‍යවේදීන් වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් පැවැත්වෙනවා. මේ රටේ විවිධ ක්ෂේත්‍රවල පසුගිය කාලසීමාවේදී මෙවැනි සම්මාන උළෙලවල් පැවැත් වු නමුත් පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි හා වෙබ් අඩවි යන අංශවල නියැළි සිටින විවිධ මාධ්‍යවේදීන් ඇගයීමක් සිදු වන්නේ ප්‍රථම වරටයි. මෙවැනි ඇගයීමක් මඟින් බලාපොරොත්තු වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක දියුණුවක්, සංවර්ධනයක් ඇති කර ගැනීමයි. මෙහිදී සම්මාන 54 ක් පිරිනැමෙන අතර එයින් සිදු වන්නේ එම මාධ්‍යවේදීන් මානසිකව තෘප්තිමත් කිරීම පමණක් නොවේ. මෙවැනි සම්මාන උළෙලක් පවත්වන්නේ මේ තුළින් සමස්ත ක්ෂේත්‍රයේ සිටින අයට මෙම සම්මානයක් ලබා ගැනීමේ සුදුස්සෙකු බවට පත් වීමේ සිතුවිල්ලක්,අරමුණක් බලාපොරොත්තුවක් ලබා දෙන්නයි.
මාධ්‍ය ක්ෂේත්‍රයෙන් රටේ සංවර්ධනයට දියුණුවට විශාල දායකත්වයක් ලැබෙනවා. වාණිජ අරමුණුවලින් තොරව ස්වාභාවික විපත්වලදී මාධ්‍ය ආයතන පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කර ජාතික යුතුකම ඉටු කරන ආකාරය අපි දකිනවා. මාධ්‍ය මේ ජාතික යුතුකම ඉටු කළ යුතුයි. රජය පැත්තෙන් ගුවන්විදුලි හා රූපවාහානි නාලිකා වලට සහන රැසක් ලබා දී තිබෙනවා. සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයේම යම් ගුණත්මකභාවයක් ඇති කර ගැනීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණක් වෙනවා. තවත් වැඩසටහන් ගණනාවක් මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය මධ්‍යවේදීන් අපහසුතාවලට ලක්වෙනවා. මේ අය අපේ අමාත්‍යංශයේ ලියාපදිංචි කළත් ඒ අය ගැන නිසි ඇගයීමක් නැහැ. විධිමත්බවක් නැහැ. මාධ්‍ය ලියාපදංචිය ගත්තත් සෑහීමකට පත් විය නොහැකියි.


අමාත්‍යංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා 

මේ සම්මාන උළෙල පැවැත්වීමට කැබිනම් මණ්ඩලය අවසර ලබා දුන්නා. ඒ සදහා සංවිධාන කටයුතුවලට ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ දැනුම ලබා ගැනීමට, අයවැයෙන් මුදල් වෙන් කර ගැනීමට ද අපට අවසර දුන්නා. මෙහිදී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආවරණය වන පරිදි අයදුම්පත් කැඳවනවා. රේඩියෝ, පුවත්පත්, ටෙලිවිෂන් වෙබ් යන ක්ෂේත්‍ර ඔස්සේ අයදුම්පත් කැඳවනවා.