2050 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස් කර අවසන් බව ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙය ඉතා අභියෝගාත්මක කාර්යයක් බවත් විවිධ මතිමතාන්තර දරන පුද්ගල සමූහයක් සමඟ ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මෙම කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කෙළේ සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමඟ එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයකට සහභාගී වෙමිනි.
සිංගප්පූරුවේ ජැන් ටැංග්ලින් හෝටලයේ පැවති මේ සමුළුවට ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයින් විශාල පිරිසක් එක්ව සිටියහ. ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකා භූගෝලීය පිහිටීමේ වැදගත්කම ඉතා හොඳින් අවබෝධ කර ගෙන ඇති බැවින් ආර්ථික, මූල්‍ය හා සමාජයීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
නව තාක්ෂණය දායාද කර ගනිමින් අපනයන ආර්ථිකය අරමුණු කරගත් සමාජ රටාවක් බිහිකරලීමට ශ්‍රී ලංකාව ඇප කැප වී ක්‍රියා කරන බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කෙළේය.
ලෝකයේ සියලු රටවල් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන් අගමැතිවරයා, ඉදිරියේ දී ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොරියාව, ජපානය හා චීනය වැනි ආසියානු රටවල් සමඟ ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීමට වෙහෙසෙන බව ද පැවසීය.
දේශීය වශයෙන් ඉදි කිරීමට බලාපොරොත්තු වන ආර්ථික, කර්මාන්ත හා සංචාරක කලාප පිළිබඳව පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා, කොළඹ - මහනුවර හා හම්බන්තොට යා කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය අවට වෙසෙන මිලියන 9 ක ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කළ හැකි ආයෝජන පිළිබඳව ද පෙන්වා දුන්නේය.සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත අැමැති එස්. ඊශ්වරන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.