මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපතිතුමා පවසයි.


මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (11) මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේ පැවති “මතට එරෙහිව පාසලෙන් ජවයක්” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය එක්ව මෙම වැඩසටහන දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමින් පෙන්වා දුන්න ද පසුගිය වසර තුන හමාර තුළ මේ රටේ මිනීමැරම් සහ ස්තී‍්‍ර දූෂණ අඩුවී ඇති බවයි.
2008 වසරේ සිට ගෙවී ගිය වසර 10 තුළ සිදුවූ මිනිස් ඝාතන පිළිබඳ ඊයේ දින ජාතික ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාව පෙන්වා දෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මිනීමැරුම් සහ අපරාධ ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කරන වැරදි මාධ්‍ය වාර්තා ඇතැම් දේශපානඥයින් ද තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරන බවයි.
කෙසේ වෙතත් මිනිමැරුම් සහ ස්ත්‍රී දූෂණ ඉහළ යාමට මත්ද්‍රව්‍ය සේම සමාජ වෙබ් අඩවි ද අද ප‍්‍රධාන සාධකයන් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ මෙන්ම දෙමාපියන්ගේ ද ප‍්‍රමුඛ අවධානය යොමු විය යුතු බව සඳහන් කළේය.
යහපත් සහ මතින් නිදහස් රටක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් දැනුවත් කරමින් ඔවුන් සමාජයේ ප‍්‍රධාන පණිවිඩකරුවන් බවට පත්කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් සුවශේෂී දායකත්වයක් සැපයූ රාජ්‍ය නිලධාරින් ඇගයීමට ලක් කරමින් සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මුඛ පිළිකා ඒකකයේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා වෙත ලබාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල යාලේගම යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ භේදයෙන් තොරව මහනුවර දිස්ති‍්‍රක්කයේ දේශපාලන නියෝජිතයින් සහ මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එම්. පී. හිටිසේකර මහතා ඇතුළු දිස්ති‍්‍රක්කයේ රාජ්‍ය නිලධාරීන්, ක්ෂේත‍්‍ර නිලධාරීන්, පොලිස්, සුරාබදු ඇතුළු සියලු ආරක්ෂක අංශ ප‍්‍රධානීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් දරුවන් මෙන්ම ගමහදාගමු ග‍්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ග‍්‍රාමසේවා වසම් 1188 ක නියෝජිතයින් 6000 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


“මතට එරෙහිව පාසලෙන් ජවයක්” මහනුවර දිස්ත‍්‍රික් වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018.07.11 වන දින මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී)

අද මේ පවත්වනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇති. ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිතය නිසා රටට සිදුවන විනාශය පිළිබඳව මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව මහනුවර දිස්ත‍්‍රික්කයේ සියලු මැතිඇමතිවරු අද මේ සභාවට අපි කැඳවලා තිබෙනවා. ඒවගේම මහනුවර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවල සියලුම ප‍්‍රධානීන් සමග, “ගම හදා ගමු” කියන ග‍්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ග‍්‍රාම නිලධාරී වසම් 1188 ක නියෝජිතයින් 6,000 ක් පමණ කැඳවලා තිබෙනවා. සියලුම පාසල්වල විදුහල්පතිවරු, පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවල අපේ දරුවන්. ඒවගේම දිස්ත‍්‍රික්කයේ ආයතන ප‍්‍රධානීන් වගේම ක්ෂේත‍්‍රයේ කටයුතු කරන සියලුම ක්ෂේත‍්‍ර නිලධාරීන්, පොලිස්, සුරාබදු, යුද, නාවික, ගුවන් ආරක්ෂක අංශවල සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත‍්‍රවල මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය පාලනය සඳහා ක‍්‍රියා කරන්නා වූ කාර්ය මණ්ඩල මේ අවස්ථාවට සහභාගි වෙලා ඉන්නවා.
මේ දිස්ත‍්‍රික් වැඩසටහන ආරම්භ කරන්න පෙර මීට මාස 03 කට පමණ ඉහත දී දිසාපතිතුමා, ප‍්‍රාදේශීය ලේකම්තුමා, විදුහල්පතිවරු, ආයතන ප‍්‍රධානීන් සමග ග‍්‍රාමීය මට්ටමේ සිට මේ දිස්ත‍්‍රික්කයේ ගෙයක් ගෙයක් පාසා ගිහින් මේ වැඩසටහනේ මූලික කටයුතු සංවිධානය කර තිබුණා. ගම දැනුවත් කළා. පාසැල් දැනුවත් කළා. රාජ්‍ය ආයතන දැනුවත් කළා. අද මෙම වැඩපිළිවෙළ මහනුවර දිස්ත‍්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය, පාලනය සහ මර්දනය සම්බන්ධයෙන් ගත් ආරම්භක ප‍්‍රවේශය කියන එක විශේෂයෙන්ම මෙහිදී මා සඳහන් කරන්නට ඕනෑ. අද මෙහි දේශන පවත්වපු පුබුදු ජයසේකර මහත්මයා ඇතුළු පිරිස ඇමතිවරු මේ වැඩසටහනේ වැදගත්කම පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කළා.
ඇමතිවරයෙක් කාලේ මම වැඩිපුරම කතා කළේ සිගරට් නැත්නම් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳව. මේ වැඩපිළිවෙළවල්වල ප‍්‍රතිඵලයක් විදියට අද මේ රටේ දුම්කොළ සිගරට් අලෙවිය පහත වැටිලා තිබෙනවා. දුම්කොළ, සිගරට් සමාගම් පසුගිය දිනවල රජයට දැන්වුවා සිගරට් අලෙවිය පහළ බැහැලා තිබෙන නිසා රජයේ ආදායම් බදු ගෙවීම අඩු වේගෙන එනවා කියලා. පුබුදු ජයසේකර මැතිතුමා එතුමාගේ කතාවේදි කිව්වා, සිගරට් පාවිච්චි කරන්නේ ලංකාවේ ජනගහනයෙන් 18% යි කියලා. මම කියපු හෂීස්, කොකේන්, මර්ජුවානා පාවිච්චි කරන්නේ සියයට එකයි දශම ගණනක් කියලා කිව්වා. නමුත් 14% ක් මේ රටේ අරක්කු, කසිප්පු, බ‍්‍රැන්ඩි, විස්කි බොන අය. සීයක් ඉන්න තැන එක්කෙනෙක් හිටපුවහම ඇති. ඉතා වැදගත් අවස්ථාවලදි අනිත් 99ම යටපත් කරන්න. මත්ද්‍රව්‍ය, මත්කුඩු පිළිබඳව කතා කරන විට ලංකාවේ පාවිච්චි කරන්නේ සියයට එකයි දශම ගාණයි කියලා එතුමා සඳහන් කළා. මත්කුඩු පාවිච්චි කරන්නේ සියයට එකයි දශම ගණනක් නම් එය සුළුපටු ගණනක් නම් නොවෙයි. එය ඉතා බරපතළයි. රටේ 2% කට ආසන්න මර්ජුවානා, හෂීස්, කොකේන් පාවිච්චි කරනවා නම් තත්ත්වය භයානකයි. මේ සමාජ ව්‍යසනයෙන් දරුවන් ප‍්‍රමුඛව සමාජය බේරා ගැනීමේ කාර්යයේදී අධ්‍යාපන අමාත්‍යාංශය අපේ මේ වැඩසටහන ආරම්භ කළ වෙලාවේ 2015.05.21 දින පාසල්වලට පළමු චක‍්‍රලේඛනය නිකුත් කළා. 2018.07.06. වෙනිදා මීළඟ චක‍්‍රලේඛනය නිකුත් කරලා තිබෙනවා.
ආණ්ඩුවට විරුද්ධ දේශපාලන මත දරන ප‍්‍රතිවාදීන් කියනවා වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ අපරාධ වැඩි කියලා. මිනීමැරුම් වැඩියි කියලා. පොලිස්පතිතුමත් මෙතන ඉන්නවා. මගේ අතේ තිබෙනවා 2008 ඉඳලා ගෙවී ගිය අවුරුදු 10 තුළ ලංකාවේ මිනීමැරුම් පිළිබඳව පොලිස් වාර්තාව. පොලිස්පතිතුමා මේක ජාතික ආරක්ෂක මණ්ඩලයට ඊයේ හවස ඉදිරිපත් කළා. මම ඒ වෙලේ මේක බැලුවා මම උදේ පොලිස්පතිතුමාට කිව්වා මට මේ වාර්තාවක් දෙන්න අද මෙතනදිත් මේ ගැන කරුණු කීපයක් කියන්න කියලා. කාටවත් මේ වාර්තාව බොරුයි කියලා අභියෝග කරන්න බැහැ. ලංකාවේ 2008 වර්ෂයේදි මිනීමැරුම් 1378 යි. 2010 -741 යි. 2013 – 586 යි. 2014 – 548 යි. 2015 ජනවාරි සිට 2015 – 476 යි. ගිය අවුරුද්දේ 2017 ලංකාවේ මිනීමැරුම් 452 යි. මේ මිනීමැරුම්වලින් සියයට 90 ක් පිටිපස්සේ මත්ද්‍රව්‍ය තිබෙනවා. ලංකාවේ ස්ත‍්‍රී දූෂණ 2012 – 2212 යි. 2014 – 2008 යි. 2016 -1996 යි. පසුගිය අවුරුද්දේ 2017 ලංකාවේ ස්ත‍්‍රී දූෂණ 1732 යි. පසුගිය මාස 06 තුළ ලංකාවේ ස්ත‍්‍රී දූෂණ 714 යි. මේ වාර්තා එකක්වත් බොරු නොවෙයි. පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ මිනීමැරුම්, ස්ත‍්‍රී දූෂණ අඩු වෙලා තිබෙනවා. නමුත් මාධ්‍යවල ලොකු කරලා මේවා පෙන්වනුවහම ආණ්ඩු විරෝධී දේශපාලනඥයොත් හයියෙන් සද්දයක් දාලා ඒ ගැන කතා කරනවා.
අද සිදුවන ස්ත‍්‍රී දූෂණවලින් වැඩි ප‍්‍රමාණයක් සිදු වෙන්නේ මත්ද්‍රව්‍ය නිසාම නොවෙන්න පුළුවන්. මේ ස්ත‍්‍රී දූෂණවලින් සමහරක් සමාජ වෙබ් අඩවි හරහා සිදුවෙන සිදුවීම්. මත්ද්‍රව්‍ය පිළිබඳව පුනරුත්ථාපන කටයුතු කරන සුමිත‍්‍රයෝ වැනි ආයතන මේ රටේ තිබෙනවා. අපේ හාමුදුරුවෝ අද මෙතනට පැමිණිලා ඉන්නවා. උන්වහන්සේ මේ කටයුතු වෙනුවෙන් සුවිශේෂී නායකත්වයක් සපයනවා. අද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන ආයතනවල ප‍්‍රධානීන් පැමිණ සිටිනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෛද්‍යවරු ඉන්නවා. මත්ද්‍රව්‍ය වලට වඩා බරපතළ ප‍්‍රශ්නය සමාජ වෙබ් අඩවි හරහා සිදුවෙන අපරාධ සහ දරුවන්ගේ මානසික ව්‍යාකූලතාවයන් සමග මානසික රෝගීන් වීම කියලා මනෝ වෛද්‍යවරුන්ගෙන් විමසීමක් කළොත් ඔවුන් පැහැදිලි කරලා දෙයි. මත්ද්‍රව්‍යත් සමාජ වෙබ් අඩවිත් අතර බොහෝ සම්බන්ධකම් තිබෙන බවත් ඔවුන් පවසනවා. අද සමාජ වෙබ් අඩවිවල මිතුරු සමාජ හදනවා. මිතුරු සමාජ හදලා කවදාවත් දන්නේ අඳුරන්නේ නැති අයට කියනවා අහවල් ස්ථානයේ අහවල් දවසේ එකතු වෙනවා. එතන්ට එන්න කියලා. එතන මොනවද තියෙන්නේ. එතන තියෙන්නේ අරක්කු, සිගරට්, මත්කුඩු, මත් පෙති වැනි මත්ද්‍රව්‍ය.
අපි අද මේ වැඩසටහනට වැඩියෙන්ම කැඳෙව්වේ දරුවන්ට වඩා දෙමව්පියන් වෙනුවෙන් පාසල් දරුවෝ ගෙන්නුවේ 700 කට ආසන්න සංඛ්‍යාවක්. දෙමව්පියෝ 6000 ක් කැඳවලා තිබෙනවා. අද බොහෝ වෙලාවට කතා කරන දෙයක් තමයි මේ රටේ වැඩිහිටියෝ හදා ගන්න අමාරුයි. ඒක හින්දා දරුවෝ ටිකවත් හදා ගන්න ඕනෑ කියලා. අධ්‍යාපන අමාත්‍යාංශය හැරුණු විට වෙනත් රාජ්‍ය ආයතන සහ විවිධ ආගමික සමාජ ආයතන යහපත් විනයගරුක දරු පරපුරක් බිහි කරන්න විවිධ ආධ්‍යාත්මික වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. නමුත් ඒ වගේම දෙමව්පියෝ හදා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් අවධානය යොමු කරන්න සිදු වෙලා තිබෙනවා. දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිතභාවය පිළිබඳව ප‍්‍රශ්නයේදි දරුවන්ට ආරක්ෂිතම ස්ථානය පාසලයි.
දෙමව්පියන්ගේ සෙවණේ කාලය තමයි අද අනාරක්ෂිතම කාලය වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ වැඩසටහන අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. දෙමව්පියෝ දරුවන්ට සැමවිටම ආදර්ශයක් විය යුතුයි. දෙමව්පියන්ගේ විනය දරුවන්ට ආදර්ශයක් වෙනවා වගේම දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත වෙනවා. ඒ නිසා මේ වැඩසටහන සාර්ථක කර ගන්න අපිට පුළුවන් වන්නේ ඔබේ කැපවීම මතයි. දෙමව්පියන්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, ආයතන ප‍්‍රධානීන්, ක්ෂේත‍්‍ර නිලධාරීන් මේ සෑම කෙනෙක්ම දරුවන් සමග මෙහි වගකීම ගන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දරුවා තමයි සමාජයට හොඳම නිවැරදි පණිවුඩකරුවා. බොහෝ වෙලාවට දරුවන් කියන දේට බොහෝ අය ඇහුම්කන් දෙනවා. ඒ නිසා යහපත් මතින් නිදහස් රටක් හදන්න හොඳ සමාජයක් හදන්න ක‍්‍රියාත්මක කරන මෙවැනි වැඩසටහන්වලදි දරුවන් දැනුවත් කරමින්, දරුවා සමාජයේ ප‍්‍රධාන පණිවුඩකරුවෙක් කළ යුතු වෙනවා. මේ සඳහා ඔබ සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටිනවා.
ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශේෂයෙන්ම මත් කුඩු, මත් පෙති නිසා නීතියට හසු වෙලා අධිකරණයෙන් දඬුවම් විඳින බව අපි දන්නවා. ඔවුන් අතර මරණීය දණ්ඩනය නියම වුණු අයත් ඉන්නවා. ඔවුන් හිර ගෙදර ඉඳලත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා. රට පුරා මත්ද්‍රව්‍ය බෙදනවා. බෞද්ධ සමාජයේ ඒ පිළිබඳව බොහෝ වාද විවාද තිබෙන්න පුළුවන්. මරණීය දණ්ඩනය නියම වුණු අය මරණීය දණ්ඩනය දීම සඳහා අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරයා. ඒ නිසා මම ඇමති මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා මුළු සමාජයට රටට හෙට උපදින දරුවන් වෙනුවෙන් මම ඊයේ හවස් වෙන කොට අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩනයට නියම වී, එසේ මරණීය දණ්ඩනයට නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙලා ඉන්න අය සඳහා මරණීය දණ්ඩනයට අවසර ලබාදෙමින් මගේ අත්සන යොදන්න. මම හිතනවා මම පවක් කර ගන්නේ නැහැ කියලා. එහෙම නැතිව මේ රට හදන්න බැහැයි කියලා අපිට පේනවා. දඬුවම් මදි බව පේනවා. අපේ හාමුදුරුවෝ පූජකතුමාලා උදේ හවා බණ කියනවා. ධර්ම දේශනා කරනවා. අනුශාසනා කරනවා. උදේට නැගිටින කොට රෑට නින්දට යන කොටත් බණ ඇහෙනවා. මේ තරම් බණ අහන රටක් මේ තරම් බණ කියන රටක් ලෝකයේ නැහැ. නමුත් මේ විදියට අකටයුතු දේවල් කරනවා නම් ඒවට අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු වෙනවා.
අද මේ වැඩසටහන පවත්වන්නේ 16 වෙනි දිස්ත‍්‍රික්කයෙ යි. පරිසර සංරක්ෂණය, වකුගඩු රෝග නිවාරණය, ආහාර නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරකිමු ආදී පුළුල් ජාතික වැඩසටහන් කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක‍්‍රියාත්මක කරනවා. ඒ සඳහා අනිකුත් සියලු අමාත්‍යාංශ, ආයතන, පළාත් සභා එක්වී සිටිනවා.
මේ වැඩසටහනට සහයෝගය දුන් ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. ගෞරව කරනවා වගේම මතින් නිදහස් සමාජයක් සඳහා දරුවන් මතින් නිදහස් කරන්න, දෙමව්පියන් මතින් නිදහස් කර ගන්න සියලුදෙනාම එක්ව සාමූහිකත්වයෙන් කැපවී කටයුතු කරමු යි කියන ගෞරවනීය ආයාචනය කරමින් ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා.

03 1

06

08

11

13

{jathumbnail off}