සෑම පාසලකින් ම ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම සඳහා ජාතික අධ්‍යාපන ප්‍රමිතියක් නීති ගත කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන පද්ධතිය වෙත අලුතින් හඳුන්වා දී ඇති 'සුභග ශිෂ්‍යත්ව' වැඩපිළිවෙළේ පළමුවැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී ය. එම ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (12) පැවැත්විණි.
මෙරට සෑම පාසලක් ම ක්‍රමානුකූලව දියුණු කිරීමට මෙමඟින් අපේක්ෂා කරන බවද කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, අදාළ නීතිය සකස් කළ යුතු බවට තමා අධ්‍යාපන ඇමැතිවරයා වෙත දැනුම්දුන් බවද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා.
මේ නීතිය තමයි ජාතික අධ්‍යාපන ප්‍රමිතියක් ඇති කිරීමේ නීතිය. එය පාර්ලිමේන්තුව සකස් කරන්න ඕනෑ. ජාතික ප්‍රතිපත්ති සකස් කරන්නේ මධ්‍යම ආණ්ඩුවයි, ඒ පාර්ලිමේන්තුවෙන්. ඒ අනුව ජාතික වශයෙන් අධ්‍යාපන ප්රමිතීන් කුමක්දැයි අපි සඳහන් කරනවා. ලෝකයේ රටවල් ගණනාවක අධ්‍යාපන ප්රමිතීන් පිළිබඳ ලියලා තිබෙනවා. නීති තිබෙනවා. අපිත් ඒක ඇති කරන්න ඕනෑ. ඒ අනුව ප්රමිතීන් අනුවයි පාසල්වලට ක්‍රියාත්මක වෙන්න සිදුවන්නේ. අපි අවුරුදු දෙක තුනක් කල් දීලා මෙය ක්‍රියාත්මක කරනවා. එය සිදුනොකළොත් ඒ ගුරුවරුන්, අධ්යක්ෂවරුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්ද? ගුරුවරුන් තමන්ගේ දක්ෂතා පෙන්වන්න ඕනෑ. තමන්ගේ පන්ති කාමරයේ දක්ෂකම් පෙන්වන්න ඕනෑ. පාසලේ දක්ෂකම පෙන්වන්න ඕනෑ. ක්‍රමනුකූලව මේක සිදුවෙන්න ඕනෑ. අපි කියන්නේ නෑ පළමුවෙනි වසරේදී හැම පාසලක් ම කොළඹ තිබෙන උසස් ම පාසල් මට්ටමට එන්න ඕනෑ කියලා. ඒත් ක්රමානුකූල දියුණුවක් තිබෙන්න ඕනෑ. ඒක ඇති කරන්න මේ නීතියෙන් ම බලකරලා තිබෙනවා. ඒ වගේම බඳවා ගැනීම් ද මේ ක්‍රමවේදය අනුව සිදුකෙරෙනවා. ඒ අනුව තව අවුරුදු හතරක් පහක් ගියාට පසුව බඳවා ගන්න හැකි වෙන්නේ ඉගැන්වීම සඳහා ගුරු සහතික තිබෙන අය පමණයි. එවිට අවුරුද්ද අතර තුර අලුතින් බඳවා ගන්නා අයට අධ්‍යාපනය දෙන්නේ කොහොමද, පුහුණුව දෙන්නේ කොහොමද කියලා අධ්‍යාපන අමාත්‍යාංශයට දැන් සිට ම තීරණය කරන්න සිදුවෙනවා. ඒ වගේම අපි තවත් කාලසීමාවක් දෙනවා ඒ වනවිට විභාගයෙන් බඳවා ගෙන තිබෙන අයටත් ඒ පුහුණුව ලබා දෙන්න. මේක නොකළොත් මම හිතන්නේ මුළු අමාත්‍යාංශයට ම දඬුවම් කරන්නත් සිදු වෙයි.