අසීමිත බලය, දූෂණය නිර්මාණය කරන අතර, බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ඉකුත් වසර 03 තුළ ශ‍්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බව ජනාධිපතිතුමා පවසයි.

 


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (18) ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත‍්‍රණ සහ සමුළු ශාලාවේදී ආරම්භ කෙරුණු විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට එක්වෙමිනි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිද භාවය, වගවීම, මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම උදෙසා සැකසුණු යාන්ත‍්‍රණයකි. ජෝර්ජියානු අග‍්‍රාමාත්‍ය Mamuka Bakhtadze මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සමුළුව ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 75 ක ජනාධිපතිවරු, අගමැතිවරු, කතානායකවරු, අමාත්‍යවරු ඇතුළු නියෝජිතයින් ඊට එක්ව සිටියහ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ එකඟතා එහි සාමාජික රටවල සුබසාධනය සහ යහපත උදෙසා යොදා ගන්නේ කෙසේද යන තේමාව යටතේ එහි සමාරම්භක සැසිය ආරම්භ කෙරුණු අතර, එම සමාරම්භක අවස්ථාවේ මූලික අදහස් දැක්වීමට එක්වෙමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය අදහස් පළ කරනු ලැබීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයට අදාළ මූලධර්ම ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාව ගත් පියවර පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තමන් ජනාධිපති ධූරයට පත්වන විට ලෝකයේ කිසිම රටක නොමැති අයුරින් අසීමිත බලයක් ශ‍්‍රී ලංකා විධායක ජනාධිපති ධූරය සතුව තිබු බවයි. තමන් ජනාධිපති ධූරයට පත්ව මාස 06 ක් ඉක්ම යාමට පෙර එම අධික බලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවට පවරාදී පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට පියවර ගත් බව ජනාධිපතිතුමා එහිදි පැහැදිළි කළේය.
එසේම එදා අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, පොලිස්පති, නීතිපති, සහ කොමිෂන් සභා නිලධාරින් ද පත් කෙරුණේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වන අතර අද එම සියලු කටයුතු සිදුවන්නේ පාර්ලිමේන්තුවෙන් පත් කරන ලද ව්‍යවස්ථාපිත සභාවක් මගින් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
තමන් රට භාර ගන්නා විට දේශපාලන බලය හේතුවෙන් අධිකරණය ද දැඩි දූෂණයට ලක්ව තිබූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කිරීමට ද වත්මන් රජය පියවර ගත් බව සඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු සියලු කොමිසන් සභා අද ශක්තිමත් වී තිබෙන අතර, කිසිවෙකුගේ ඇඟිලි ගැසීමකින් තොරව ස්වාධීන සහ අපක්ෂපාති ආයතන ලෙස ඒවා කි‍්‍රයාත්මක වන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
දේශපාලනඥයා වේවා රාජ්‍ය නිලධාරියා වේවා තමා සතු පෞද්ගලික බලය හැකි තරම් අවම කරමින් බලය ව්‍යවස්ථාපිත ලෙස සාමුහිකත්වයට භාරකළයුතු අතර, වැඩමුළු හා සම්මන්ත‍්‍රණ හරහා ඒ පිළිබඳ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමට මෙන්ම, දූෂණය හා වංචාව පිටුදැකීම පිළිබඳ සිවිල් සමාජය සතු බලතල භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා කියා සිටියේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්වත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන රජය විසින් ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එම හවුල්කාරිත්වය සමග එක්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේදී ශ‍්‍රී ලංකාව ඒ හා එක් විය. ඒ අනුව ශ‍්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත් ප‍්‍රථම දකුණු ආසියාතික රට ද වෙයි. මේ වන විට ලෝකයේ රාජ්‍යයන් 75 ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය දරති.
දූෂණ විරෝධය, සිවිල් අවකාශය සහ රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම යන අරමුණු ඉටු කර ගැනීමේදී පවතින අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා ගෝලීය වශයෙන් සාමුහිකව ගතයුතු ප‍්‍රයත්නයන් පිළිබඳ මෙවර රාජ්‍ය නායක හමුවේ දී පුළුල් අවධානයක් යොමු කෙරේ. සමුළුව හෙටින් අවසන් වෙයි.


විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුවට එක්වෙමින් ජනාධිපතිතුමා දැක්වූ අදහස් (2018-07-18 දින ජෝර්ජියාවේ ටිබිලිසි නුවර)


මා ඉතාමත් සතුටු වෙනවා සමුළුවට සහභාගීවීමට ලැබීම පිළිබඳව. ඔබ ඇසූ ප‍්‍රශ්නය පිළිබඳව ඔබට ස්තූතිවන්ත වෙනවා. විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය අවධානය යොමු කරන ප‍්‍රධාන ඉසව්වක් තමයි දූෂණය සහ නාස්තිය. දූෂණය, වංචාව, නාස්තිය මුලිනුපුටා දැමීම සඳහා එහිදී කළ යුතු ප‍්‍රධාන දේ තමයි බලය හා දූෂණය අතරේ තිබෙන සම්බන්ධතාවය වෙන්කිරීම. බලය සහ දූෂණය එකට ගමන් කරන්නේ. ප‍්‍රධාන වශයෙන් දේශපාලන ක්ෂේත‍්‍රයේ වේවා රාජ්‍ය නිලධාරීන් තුළ වේවා ඔවුන් සතු පෞද්ගලික බලය හැකිතරම් අවම කිරීමත් බලය සාමූහිකත්වයට භාරදීමත් ව්‍යවස්ථාපිත වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා.
මම ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට තිබුණේ ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙකුට නොමැති අසීමිත විධායක බලයක්. ඒ අසීමිත විධායක බලය සමග තමයි දූෂණය ගමන් කරමින් තිබුණේ. ඒ නිසා මම ජනාධිපති ලෙස පත්වී මුලින්ම කළේ, පළවෙනි මාස හය තුළ විධායක ජනාධිපතිවරයා සතුව තිබූ, අසීමිත විධායක බලය මගෙන් ඉවත් කරලා පාර්ලිමේන්තුවට ලබාදීමයි. ඒ තුළින් පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කළා. මම ඒ බලය පාර්ලිමේන්තුවට දීමට පෙර ජනාධිපතිවරයාගේ පෞද්ගලික අභිමතය මත තමයි ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරු පත්කළේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පත්කළේ. නීතිපතිවරයා පත්කළේ. පොලිස්පතිවරයා පත්කළේ. කොමිෂන් සභා ස්වාධීන කොමිෂන් සභා විදියට හැඳින්වූවත් ඒ කොමිෂන් සභාවලට පත්කරන සියලු කොමසාරිස්වරු ජනාධිපතිවරයාගේ තනි අභිමතය මතයි පත්කළේ. ඒ නිසා මම පාර්ලිමේන්තුවේ සිටින සියලු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරලා විධායක ජනාධිපතිවරයා ලෙස මා සතුව තිබූ අසීමිත බලය පාර්ලිමේන්තුවට දී එයින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා.
අද ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත ස්වාධීන ස්වාධීන කොමිෂන් සභා යටතට ගැණෙන අධිකරණය, දූෂණ වංචා කොමිෂන්, රාජ්‍ය පරිපාලනය, විගණනය, මානව හිමිකම් ආදී කොමිෂන් සභා සියල්ලෙහිම කොමසාරිස්වරු පත්කරන්නේ පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලැබූ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් මගින්. ඒ සියලු කොමිෂන් සභා දැන් ස්වාධීන වෙලා තියෙනවා. මගේ රටේ අධිකරණය දේශපාලන බලපෑම් නිසා බරපතළ ලෙස දූෂිත වෙලා තිබුණේ. ගුණාත්මකභාවයෙන් සහ ප‍්‍රමිතියෙන් පහළ වැටිලා තිබුණේ. අද කිසිදු දේශපාලනඥයෙකුට අත ගහන්න බැරි ආකාරයට අධිකරණය ශක්තිමත් වෙලා තිබෙනවා. අල්ලස, දූෂණය සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරලා, බලතල වැඩි කරලා කිසිදු දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට එයට බලපෑම් කළ නොහැකි ආකාරයට ඒවා ශක්තිමත් කර තිබෙනවා. දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, රටේ සාමාන්‍ය පුරවැසියන්, ව්‍යාපාරිකයින් මේ සියලු දෙනා සහ ආයතන, ස්වාධීන කොමිෂන් සභාවල බලයට යටත් වෙනවා. ඒ වගේම දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා සම්මන්ත‍්‍රණ, වැඩමුළු සාකච්ඡා ආදී විවිධ වැඩසටහන් රාශියක් කෙරීගෙන යනවා. ඒ වගේම පොදුවේ සාමාන්‍ය ජනතාව දැනුවත් කරනවා දූෂණ වංචා සම්බන්ධයෙන් සිවිල් ජනතාවට තිබෙන බලතල භාවිතා කරන්නේ කෙසේද. පැමිණිලි කිරීම්, ක‍්‍රියාකිරීම් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරනවා.
ස්තූතියි.

1

2

5

1

15

16

18

{jathumbnail off}