රෝමයේ පැවති ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයට මෙන්ම ජෝර්ජියාවේ පැවති විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුව සඳහා සහභාගී වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සය දින නිල සංචාරය සාර්ථකව නිමවා අද (20) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.


ශ‍්‍රී ලංකාව දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවට ලොව තුළ විශ්වාසය ගොඩනගමින් යන ගමනේ තවත් අතිසාර්ථක සංචාරයන් ලෙසින් ජනාධිපතිතුමාගේ මෙම සංචාර හඳුන්වාදිය හැකි අතර ඒ තුළින් ඉදිරියේදී මාතෘභූමියට යහපත් ප‍්‍රතිලාභ රැසක් උදාවනු ඇත.
රෝමයේ පැවති හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ජනාධිපතිතුමා රෝමයට ළගා වූයේ ඉකුත් ජූලි 14 වැනිදාය.
ජනාධිපතිතුමා ජූලි 16 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළ අතර එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ලොව වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් පරිසරය සුරැකීම සඳහා අප ඉදිරියේ ඇති න්‍යාය පත‍්‍රය සංකීර්ණ මෙන්ම අභියෝගාත්මක වුව ද එය ජය ගැනීමට සියලු ප‍්‍රජාව සාමුහිකව කැපවිය යුතු බවයි.
පරිසරය රැක ගැනීම වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය වශයෙන් කැපවීමකින් කටයුතු කරන රාජ්‍ය නායකයෙකු ලෙස මෙම සමුළුවේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සුවිශේෂී පිළිගැනීමක් නිතැතින්ම හිමි විය.
ඉන් අනතුරුව ජූලි 17 වනදා ජනාධිපතිතුමා සිය ජෝර්ජියා නිල සංචාරය ආරම්භ කරනු ලැබීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිද භාවය, වගවීම, මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම උදෙසා සැකසුණු යාන්ත‍්‍රණයකි.
රටවල් 75 ක් නියෝජනය කරමින් ජනාධිපතිවරු, අගමැතිවරු, කතානායකවරු, අමාත්‍යවරු ඇතුළු නියෝජිතයිනගේ සහභාගිත්වයෙන් සමුළුව ජූලි 18 වනදා පෙරවරුවේ ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත‍්‍රණ සහ සමුළු ශාලාවේ දී අභිමානවත් අයුරින් ආරම්භ කෙරිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ එකඟතා එහි සාමාජික රටවල සුබසාධනය සහ යහපත උදෙසා යොදා ගන්නේ කෙසේද යන තේමාව යටතේ එහි සමාරම්භක සැසිය ආරම්භ කෙරුණු අතර, එම සමාරම්භක අවස්ථාවේ මූලික අදහස් දැක්වීමට එක්වෙමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය අදහස් පළ කරනු ලැබීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ මුලධර්ම ප‍්‍රවර්ධනයට කැපවූ නායකයෙකු ලෙස මෙම සමුළුවේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ අදහස් දැක්වීම ඊට සහභාගී වූ සියලු සාමාජිකයින්ගේ දැඩි අවධානයට ලක්වූ අතර දූෂණය සහ වංචාව පිටුදැකීමට ශ‍්‍රී ලංකාව දරන ප‍්‍රයත්නය එම සියලු දෙනාගේ ඇගයීමට ලක්විය.
එමෙන්ම එම වැඩපිළිවෙළ වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් එක් කිරීමට ද ඔවුන් අමතක නොකළහ.