ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (21) පෙරවරුවේ යෙදෙනු සුබ මොහොතින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කතාව
(2018-07-21)


මේ වෘක්කවේද රෝහල පොලොන්නරුවට ලැබුණ රෝහලක් නොවෙයි, මෙය අපේ රටට ලැබුණ රෝහලක්. මුළු මහත් රටේම ජනතාව වෙනුවෙනුයි මේ රෝහල පොලොන්නරුවේ ඉදි වන්නේ. රුපියල් කෝටි 1200 ක් වැය කරන මේ රෝහල නව තාක්ෂණික උපකරණ සමග නවීන තාක්ෂණික සැලසුම් සමග අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතියකින් යුතු උසස්ම රෝහලක්. ශෛල්‍යාගාර හයක් මෙහි ඉදි වෙනවා. මේ භූමිය අක්කර දාසය හමාරක් වෙනවා. මේ භූමිය තිබෙන්නේ පොලොන්නරුව මහ රෝහලට කිට්ටුවෙන්මයි. මෙතන තිබුණේ ධීවර අමාත්‍යාංශයේ ධීවර පර්යේෂණ ආයතනයයි. පාරෙ යන අයට පෙනුණේ මාළු ටැංකි ටිකක් විතරයි. නමුත් අපි මේ භූමිය භාර අරගෙන පිරිසිදු කරලා, ඉතා අලංකාර රෝහලක් ඉදිකිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කළා.මේ ස්ථානයේ එහා පසින් තියෙන්නේ විශාල වෙල් යායක්. පරිසරයේ තියෙන වැදගත්කම, පිරිසිදුකම රෝහලක් ඉදිකිරීමේ දී ඉතා වැදගත් වෙනවා.
අපේ රටේ කොළඹ ජාතික රෝහල ඇතුළු ලංකාවේ බොහෝ රෝහල් තිබෙන්නේ නගර මැද්දේ. නමුත් ලෝකයේ බොහෝ රටවල් රෝහල් නගරවලින් පිට තමයි ඉදිකර තිබෙන්නේ. ඒ නිසා මම ඉතා සතුටු වෙනවා මෙම රෝහල මෙම ස්ථානයේ ස්ථාපිත කිරීමට ලැබීම පිළිබඳව. මේ ලස්සන භූමිභාගය ශුද්ධ පවිත‍්‍ර කරගෙන යන විට පුරාවිද්‍යා ප‍්‍රදේශයකුත් හමුවුණා. කැලෑවකුත් තිබුණා. පුංචි චෛත්‍යයකුත් එහා පැත්තේ තියෙනවා. මේ රෝහලේ වැඩ නිම කරලා, පුරාවිද්‍යා බල ප‍්‍රදේශය නවීකරණය කරලා, ඒ පුරාවිද්‍යා බල ප‍්‍රදේශයට අයත් පැරණි ස්ථානයත් මේ රෝහලේ රෝගීන්ට ආගමික කටයුතුවලට සුදුසු ඓතිහාසික ස්ථානයක් සේ මෙහි නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මම චීන ජනරජයට සහ චින ජනාධිපති ෂිං ජිං පින් මැතිතුමාටත් ශී‍්‍ර ලංකා රජය සහ ශී‍්‍ර ලංකාවේ ජනතාව වෙනුවෙන් කෘතඥ වෙනවා. 2015 මම චීනයේ කළ රාජ්‍ය සංචාරයේ දී සිදුකළ ඉල්ලීමක් අනුව මේ රෝහල අපේ රටට ලබාදීම පිළිබඳව මගේ විශේෂ ස්තූතිය මේ අවස්ථාවේ ඒ සියලු දෙනාට පිරිනමනවා.
අපි දැන් මාස හතකට කලින් මේ භූමිය භාරදුන්නා. ඒ කාලය තුළ මේ ඉදිකිරීම් කටයුතු සඳහා චින රජය විසින් ටෙන්ඩර් කැඳවීම් කළා එහි තිබෙන සමාගම්වලට අපේ රටේ මේ රෝහල ඉදි කිරීම සඳහා. ඒ වැඩකටයුතුවලට මාස හයකට වැඩි කාලයක් ගතවුණා. අපේ රටේ වගේ නෙවෙයි මම සොයලා බැලූවා චිනයේ ටෙන්ඩරය ලබා දීමට ප‍්‍රසම්පාදන කමිටුව තීන්දු කීරීමෙන් පසුව මාස තුනක කාලයක් දෙනවා ඒ සඳහා විරෝධතා තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ කාර්යයට ඒ සමාගම සුදුසු නැද්ද, එහෙම නැත්නම් නුසුදුසු විදියට තෝරා ගත්තා ද, ඒ කාර්යය කරන්න පුළුවන්ද ඒ සමාගම මෙවැනි ඉදිකිරීම් යහපත් තත්වයන් පෙන්නලා තියෙනවාද දුර්වලතාවයන් පෙනුම් කරලා තිබෙනවාද ? ඒ සඳහා සමාගම විවෘත රටේ ජනතාවට දැනගන්න තබනවා අවශ්‍ය නම් විරෝධතා දක්වන්න. ඒ නිසා මාස හය හමාරක්, හතක් වගේ කාලයක් ගියා අපි කලින් උත්සවය තියලා අද මේ ඉදිකිරීම් ඒ සමාගම ඇවිත් පටන් ගන්න විට. මේ සමාගම මාසයකට කලින් ලංකාවට ඇවිත් මේ භූමියේ මුලික කටයුතු ආරම්භ කරලා තිබෙනවා.
නාලක කොලොන්නේ මන්තී‍්‍රතුමා මට පසුගිය දවසක හමුවෙලා කිව්වා. සර් මේ චින රෝහල හැදෙන්නේ නැද්ද කියලා. මම ඇහුවා ඇයි කියලා. ඔහු කිව්වා පාරේ යන අය හිතනවා බොරුවක් කරනවා කියලා. දැන් මාස කීයක් ගත වුණාද? තවම මේක හැදෙන්නේ නැහැ කියලා. හදනවානම් හදන්න එපැයි කියලා මට කිව්වා. ඉතින් මම මන්තී‍්‍රතුමාටත් කිව්වා තත්ත්වය මේකයි අපේ ටෙන්ඩර් කි‍්‍රයාවලිය වගේ නෙවෙයි, අපේ ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලි වගේ නොවෙයි ඊට වඩා බෙහොම පිරිසිදු කි‍්‍රයාමාර්ග චින රජය ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ වගේ අනෙකුත් රාජ්‍ය පාලන කටයුතුවල තිබෙන්නේ. ඒ නිසා මේ ප‍්‍රමාදය තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ ඉදිකිරීම් කටයුතු අපි පටන් අරගෙන තිබෙනවා. මම නැවත ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.
රටේ වකුගඩු රෝගයට ලක් වූ මුළුමහත් රෝගීන් වෙනුවෙන් මේ රෝහල අපේ රටේ ජනතාවට දායාද කරන්න ලැබීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. ඒ වගේම දැන් මෙතනට පැමිණ සිටින චීන තානාපතිතුමා දැනට සති දෙකකට කලින් කොළඹ අපේ ගෙදරට ඇවිත් මේ උත්සවය ගැන සාකච්ජා කරලා, දින එහෙම යොදා ගෙන කිව්වා මම ඔබතුමාට තවත් තෑග්ගක් දෙන්නයි ආවේ කියලා. චින ජනාධිපතිතුමා ෂිං ජිං පිං මැතිතුමා ඔබතුමාට තෑග්ගක් එවලා තියෙනවා. ඔබතුමාට යුවාන් බිලියන දෙකක් ඔබේ අභිමතය පරිදි ඕනෑම දෙයක් කරගන්න දෙන්න කියලා. මට කිව්වා සතියක් ඇතුළත ව්‍යාපෘති වාර්තා අවශ්‍යයි කියලා.
මම ඒ වෙලාවේ ආර්ථික කටයුතු උපදේශකවරයාට කතා කරලා චීන රජයට යවන්න යුවාන් බිලියන දෙකකට අදාළ ව්‍යාපෘති වාර්තාව හදන්න කියලා කිව්වා. යුවාන් බිලියන දෙකයි කියන්නේ ලංකා මුදලින් රුපියල් බිලියන 48 ක්. රුපියල් කෝටි හාරදාස් අටසියයි. මම දැන් මොනවද කරන්නේ කියලා හිතන කොට ඒ වෙලාවේ මගේ හිතට ආවේ රට පුරාම නිවාස වැඩසටහනක් කරනවා නම් හොඳයි කියලා. ඒ නිසා සෑම දිස්ති‍්‍රක්කයකම ඒ රුපියල් කෝටි හාරදාහස් අටසියයෙන් මම සැලසුම් කරලා මේ සතියේ චින තනාපතිතුමාට ඒ සැලසුම භාර දෙනවා. එක නිවසක් සඳහා රුපියල් ලක්ෂ දහයක් වෙන් කරලා, එකම සැලැස්මකට අනුව මුළු ලංකාවේම සෑම මැතිවරණ කොට්ඨාශයකම නිවාස හදන්න ඒ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඒ මුදල ලබාදීම පිළිබඳවත් මම තනාපතිතුමාත්, චින රජයටත්, චින ජනාධිපතිතුමාටත් ස්තූතිවන්ත වෙනවා.
චිනය අපේ රටට දෙන ආර්ථික සහ සංවර්ධන ආධාර අති විශාලයි කියලා ඔබ දන්නවා. මේ රටේ මාර්ග ඉදිකිරීම්, අනෙකුත් සංවර්ධන ක්ෂේත‍්‍රයන් ජාතික සංවර්ධනය යන සියල්ල සඳහා 1950 දශකයේ සිට සෑම රජයක් යටතේම විශාල වශයෙන් චිනය දායකත්වය ලබා දෙනවා. අපි වර්තමානය රජය බලයට පත්වුණාට පසුව චිනය සහ ශී‍්‍ර ලංකාව අතරේ තවත් ඒ සම්බන්ධතාවයන් වැඩිවුණා. ඒ නිසා වැඩි වැඩියෙන් ආධාර දෙනවා. කදුරුවෙල පැත්තට යන විට ඔබ දකිනවා ආර්ථික මධ්‍යස්ථානයේ වැඩ පටන් අරගෙන තියෙනවා. නැගෙනහිර, උතුරු මැද පළාතටම ප‍්‍රධාන කෙන්ද්‍රස්ථානයක් වෙනවා වෙළෙද භාණ්ඩ කටයුතු හුවමාරු කරගැනීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ඉදිවෙනවා.
මේ සියලු සම්පත් රටේ ආර්ථිකයට හා ජනතාවගේ සංවර්ධනය සඳහා එක් පැත්තකින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකරන්න, තවත් පැත්තකින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට චීන රජය මේ ලබාදෙන්නා වූ සියලු සහයෝගයන් මා නැවතත් අගය කරනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කය හා උතුරුමැද පළාත ගැන ගත්විට ඔබ සෑම කෙනෙකුටම අවබෝධයක් තිබෙනවා. ලබන පළමුවැනිදා සිට දින තුනක් පොළොනන්රු දිස්ත‍්‍රික්කයේ වැඩ අවසන් වූ ගොඩනැගිලි 170 ක් විවෘත වෙනවා. පාසල් පමණක් 114 ක්. ඒ වගේම රෝහල්, විහාරස්ථාන, පානීය ජලය, ඇතුළු මහජන සේවා සපයන ආගමික අංශවලටත් අපි ආධාර කරලා තිබෙනවා. මෙවැනි ව්‍යාපෘති රාශියක් මට පමණක් විවෘත කරන්න බැරි නිසා අපි සියලුම මැතිඇමතිවරුන්ට ආරාධනා කරලා තිබෙනවා විවෘත කිරීම් වලට සහභාගී වෙන්න කියලා. අපි ඒ ඒ මැති ඇමතිවරුන්ට වෙන් කරලා තිබෙනවා විවෘත කරන ආයතන, ස්ථාන.
සංවර්ධනයේ යෝධ පිම්මක් රට වශයෙන් ගෙනියන වැඩපිළිවෙළ වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කය ලෙස ගත්තාම ඒ ප‍්‍රතිඵල ඔබගේ ඇසට දකිනවා, ඇගට දැනෙනවා, හිතට දැනෙනවා. පොළොන්නරු මහරෝහලේත් ඉදිකිරීම් රාශියක් සිදුවෙනවා. මම මුල්ගල් තිබ්බා ඒ කිහිපයකටම. ඒ වැඩ කටයුතු වේගවත්ව සිදුවීගෙන යනවා. අපි 23 වනදා මේ රටේ ජාතික ආර්ථිකයට විශාල සහයක් ලබාදෙන මොරගහකන්ද කළුගඟ ජලය එක්රැුස් කිරීමේ ක‍්‍රමවේදය ආරම්භ කරනවා. මේ ව්‍යාපෘතිය සඳහා අපි රුපියල් කෝටි 22,000 ක් වැය කරනවා. මොරගහකන්ද ජලාශයේ වැඩ අවසන් කර ජලය නිකුත් කළාට පසුව පරාක‍්‍රම සමුද්‍රය වගේ 06 ගුණයක් විශාලයි. එය මේ රටේ ජාතික ආර්ථිකයට, ජනතාවගේ ජීවන තත්වය උසස් කරන්න, කර්මාන්ත, බහුකාර්ය යෝජනා ක‍්‍රම, ව්‍යාපෘති රාශියක් සඳහා දායකත්වය ලබා දෙනවා.
ඉහළ ඇළහැර යෝජනා, උතුරු මැද මහ ඇළ, වයඹ මහ ඇළ, ඒවාගේ විශාලත්වය ඔබ දන්නවා. කුරුණෑගලට ජලය ගෙන යන වයඹ මහ ඇළ පොළොව යටින් යන ටනල් එකේ විශාලත්වය කි.මි.21 ක් වෙනවා. කළුගගේ සිට මොරගහකන්දට ජලය ලබාදෙන ටනල් එක කි.මී 07 ක් වෙනවා. කෝටි 22000 ක් වැය කරමින් වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය වෙනවා. පළාත් 05 ක කෘෂිකාර්මික ජලය හා පානීය ජල ප‍්‍රශ්නය විසදෙනවා. මෙවැනි විශාල යෝධ ව්‍යාපෘතියක් මේ රටේ මෑත යුගයක නැහැ. ඒ නිසා ලංකාවේ විශාලතම කෘෂි වාරි යෝජනා ක‍්‍රමයේ කටයුතු සාර්ථකව කෙරීගෙන යනවා. එහි එක් පියවරක් ලෙස තමයි අපි ලබන 23 වනදා‍ෙළ කළුගඟ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. මෙය සංචාරක ව්‍යාපාරයටත් ඉතා වැදගත්.
රට වශයෙන් ගෙනියන පුළුල් සංවර්ධන කාර්යයන්, ආර්ථික සංවර්ධනයට, ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවන්න භෞතික සම්පත් සංවර්ධනය වගේම අපි තවත් පැත්තකින් ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ප‍්‍රමුඛත්වයක් ලබාදෙනවා. ඒ ආධ්‍යාත්මික සංවර්ධනය මගින් මේ රටේ යහපත්, විනයගරුක, ණැනවත් සමාජයක් ගොඩනගන්නයි සැමවිටම කටයුතු කරන්නේ. ඒ යහපත් සමාජය හදන්න හොඳින් කියලා බැරිනම් බොහෝ රටවල් වගේ නරකින් කරන්නත් වෙනවා. හොඳ දෙයක් කරන්න ඕන නිසා.
අපේ රටේ තරම් උදේ සවස බණ අහන රටක් නැහැ. නමුත් නව තාක්ෂණයත් සමග, තරගකාරි සමාජයත් සමග මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙලා, පෘතග්ජන කම, බලාපොරොත්තු, අපේක්ෂාවන්, පිරිලා ඒවාගේ ඉවරයක් නැහැ, කෙළවරක් නැහැ. ඒ නිසා හොඳ පැත්තට වගේම නරක පැත්තට යොමුවන අවස්ථා ගොඩක් තිබෙන්නේ.
මත්ද්‍රව්‍ය මේ රටේ බරපතළ ප‍්‍රශ්නයක්, අභියෝගයක්. මේ රටේ ජනගහනයෙන් 1.4% ක් මත්කුඩු, මත්පෙතිවලට ඇබ්බැහි වෙලා තිබෙනවා. රටේ ජනගහනයෙන් 18% දුම්වැටිවලට ඇබ්බැහි වෙලා තිබෙනවා. රටේ ජනගහනයෙන් 14% මධ්‍යසාරවලට යොමුවෙලා තිබෙනවා. ඒ අතරේ තමයි අලූත්ම වාර්තා කියන්නේ මත්කුඩු සඳහා 1.5% ක ට ආසන්න ප‍්‍රමාණ යොමුවෙලා තිබෙනවා කියලා. ඒ අතරේ පාසල් දරුවන් ඉන්නවා. මට දැනගන්නට ලැබුණා ලංකාවේ ජනප‍්‍රිය පාසලක ඇතුළට මත්කුඩු අරගෙන ඇවිල්ලා, ළමයි අතරේ බෙදලා ළමයින්ම මත්කුඩු ව්‍යාපාර සඳහා යොමුකරනවා කියලා. අපි පොලිසිය ඇතුළු සියලුම ආරක්ෂක අංශ සමග මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහන් ජාතික වශයෙන් ක‍්‍රියාත්මක කරනවා. නමුත් දිනෙන් දින විෂ මත්ද්‍රව්‍ය තත්වය වර්ධනය වන නිසා තමයි රජයට තීන්දුවක් ගන්න සිදුවුණේ තද නීති රීති ක‍්‍රියාත්මක කළයුතුයි කියලා.
මීට සති කිහිපයකට කලින් අමාත්‍ය මණ්ඩලයට මම කරපු යෝජනාවකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්න මම අනුමැතිය ගත්තා මගේ කැබිනට් මණ්ඩලයෙන්. ඒ සියලු දෙනාම එය එක හෙළා අනුමත කළා. මම දැක්කා හෙට නිකුත් වන පුවත්පතක තිබෙනවා මරණීය දඬුවම ක‍්‍රියාත්මක කරන්න ආණ්ඩුව ගත්ත තීරණය ඉවත් කරන්න යනවා කියලා. ඒ කතාව ඉතාමත්ම අසත්‍යයක්. මොන විදියේ විරෝධතාවයක් ආවත් ඒ මරණීය දඬුවම ක‍්‍රියාත්මක කරනවා. මම ලබන සතියේ කැඳවලා තිබෙනවා මීට අදාළ සියලු ක්ෂේත‍්‍රවල ප‍්‍රධානීන්. එයාලාගෙන් මම කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවෙන් තමයි මම තීරණය කරන්නේ මරණීය දණ්ඩනයට යටත් කරන පුද්ගලයන් කවුද? ඒ සඳහා දින වකවානු පිළිබඳව ඒ කමිටුව ක‍්‍රියාත්මක කරනවා ඇති.
ඒ නිසා මේ පිළිබඳ අපට යම් යම් විරෝධතා ඇතැම් අය ඉදිරිපත් කරනවා. මෙලෙස විරෝධතා ඇතිකරන අය මේ රටේ මහා විනාශකාරී දේවල් වළක්වාලන්න කිසිම සහයක් දීලා නැහැ. මම ඒක පැහැදිලිවම කියන්නට ඕන ඒ නිසා මම මේ තීරණය වෙනස් කරන්නේ නැහැ. මම මේ වැඩපිළිවෙළ පටන්ගත්තේ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් සිටින කාලයේ. මම ජනාධිපති ධූරයට පත්වූ පසුගිය වසර කිහිපය ගත්තාම වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් ගත්තාම මුළු රජයම අපිට විශාල සහයෝගයක් දුන්නා රටපුරා ගෙනයන මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහනට.
එහි ප‍්‍රතිඵලයක් විදියට ගත්තාම ලංකාවේ දුම්පානය අඩුවෙලා තිබෙනවා. නමුත් ඉතාමත්ම නරක මත්කුඩු වර්ධනය වෙලා තිබෙනවා. එදා නාගරික ප‍්‍රදේශවල පමණක් තිබුණ දේ අද ලංකාවේ සියලුම ප‍්‍රදේශවල පාහේ මේ ජාවාරම්කරුවන් ගිහින් පාසල් දරුවන් පවා මේ සඳහා යොමුකරගෙන තිබෙනවා.
විශ්වවිද්‍යාලවල ආචාර්යවරු, මහාචාර්යවරු මට හමුවුණාම කියනවා, මත්ද්‍රව්‍යවලින් විශ්වවිද්‍යාල සිසුන් බේරාගැනීම පිළිබඳ ප‍්‍රශ්නය. විශ්වවිද්‍යාල ඇතුළට මේ මත්කුඩු ගෙනත් බෙදාහරිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදියට, නොයෙක් වැඩසටහන්වල ටීෂර්ට් ඇඳගෙන විශ්වවිද්‍යාලවලට ඇවිත් නොමිලේ බෙදාගෙන යනවා ප‍්‍රචාරණ කටයුත්තක් විදියට. ඒ නිසා මේ රටේ නීති ශක්තිමත් කිරීම වැළැක්වීම වගේ නීති ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රමාද කිරීම සුදුසු නැහැ. ඒ අනුව අපට විරෝධතා ඉදිරිපත් කරන අයට මම යෝජනා කරනවා මේ රටේ මත්ද්‍රව්‍යවලින් සිදුවන විනාශය වළක්වන්න ඒ අයගේ සහභාගීත්වය ලබාදෙන්න කියලා. විරෝධතාවලට මම එකඟ නැහැ. මම ඒවට යටත් වෙන්නෙත් නැහැ.
ඒ වගේ මීට අමතරව කියන්න ඕන තවත් පුවත්පතක මුල් පිටුවෙම තිබෙනවා උතුරේ හමුදා වේගයෙන් ඉවත් කරනවා කියලා. මේක ඉතාමත් අසත්‍ය පුවතක්. ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන කිහිපදෙනෙක් මේ උතුරු නැගෙනහිර හමුදා කඳවුරුවල හමුදා ඉවත් කරනවා කියලා ප‍්‍රචාරයක් අරගෙන යනවා. නමුත් මම හිතන්නේ කවුරුත් සාධාරණව පිළිගන්න ඕන යුද්ධයක් කරන විට ගොඩක් ස්ථානවල කඳවුරු ඉදිකරනවා. නමුත් යුද්ධයක් අවසන් වනවිට යුද්දේ තිබුණ කාලයේ තිබුණා වගේ ඒ කඳවුරු ඒ විදියටම තියන්නේ නැහැ කිසිම රටක. දැන් මේ රටේ යුද්ධය අවසන් වෙලා වසර 10 ක් පමණ වෙනවා. මේ රටේ දැන් ත‍්‍රස්තවාදය නැහැ. දේශපාලන ප‍්‍රතිවාදීන් නොයෙක් විවේචන කරනවා මේ පිළිබඳව. පැහැදිලි ලෙසම මේ රට ස්ථීර සාමකාමී රටක්. ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ප‍්‍රශ්නයක් නැති රටක් මේ රට. මම ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලා තිබෙනවා. මම දකිනවා සමහර අය කෑ ගහනවා ජාතික ආරක්ෂාව කඩා වැටිලා කියලා. නමුත් එහෙම කඩාවැටිලා නැහැ. අද ජාත්‍යන්තර සහය ඇති මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරා තිබෙනවා. ත‍්‍රිවිධ හමුදාව ශක්තිමත් කරලා තිබෙනවා, අලුත් උපකරණ, නව ශිල්පීය ඥානය, පුහුණුව ලබාදීලා තිබෙනවා කලින් තිබුණටත් වඩා. ඒ නිසා උතුරු ප‍්‍රදේශවල හමුදා කදවුරු ඉවත් කරනවා කියලා රජයට විරුද්ධ දේශපාලන ප‍්‍රතිවාදීන් ගෙනියන අසත්‍ය ප‍්‍රතිචාර මම ප‍්‍රතික්ෂේප කරනවා.
ඒ අයට මම කාරුණිකව ආරාධනා කරනවා ඕනෑම ස්ථානයකට එන්න. හමුදාපතිවරු තිදෙනාත් සමග මම සූදානම් ජාතික ආරක්ෂාව, හමුදා කඳවුරු කළමනාකරණය, ත‍්‍රිවිධ හමුදාවේ තිබෙන ප‍්‍රමිතිය මේ තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමට. ඒ නිසා මම අද සතුටු වෙනවා පොළොන්නරු ප‍්‍රදේශය සංවර්ධනය කරන වැඩපිළිවෙළේදි මුළු මහත් ජනතාව වෙනුවෙන් සේවාවන් ලබාදෙන්න ලැබීම ගැන.
සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිදුකරන කටයුතු පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා විශේෂයෙන්ම රාජිත සේනාරත්න මැතිතුමා පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ මේ අමාත්‍යාංශයට දුන් නායකත්වය තුළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තීන්දු තීරණ ගත්තා. ඖෂධ මිල අඩු කිරීම. භෞතික සම්පත් වර්ධනය. මානව සම්පත් වර්ධනය. සේවාවන්වල ගුණාත්මකභාවය වැඩි කිරීම. මේ සියලු කාර්යයන් සඳහා එතුමාගේ නායකත්වය තුළ අමාත්‍යාංශය සිය වගකීම ඉතාමත් අවංකව විශාල කැපවීමකින් නොයෙකුත් දුෂ්කරතා මැද ඉටු කළා. මේ රටේ මුළු මහත් රෝහල්වල සේවය කරන විශේෂඥ්‍ය වෛද්‍යවරු, හෙදි, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා ඒ සියලූ කාර්යය මණ්ඩලවලට මම ස්තූතිවන්ත වෙනවා නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ලෝකයේම මහත් පිළිගැනීමක් ඇති කරගෙන විශේෂයෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වෙමින් අපේ රටේ සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජනතාවක් බිහිකරන්නට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සෑම කෙනෙක්ම ගන්නාවූ වෙහෙස, කැපවීම, උත්සාහය, උනන්දුව. මූලික අවශ්‍යතාවල යම් යම් අඩුපාඩු ඇතැම් වේලාවට තිබුණත් වෛද්‍ය, හෙදි සහ අනෙකුත් කාර්යය මණ්ඩල ඉහළම කැපවීමකින් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට විශාල වැඩ කොටසක් කරනවා.
රාජිත සේනාරත්න ඇමතිතුමා පසුගිය දවසක ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයක් සඳහා පත්වීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. එය අපේ රටටත් විශාල ශක්තියක්. එවැනි තනතුරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබෙන විට මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව දෙස වැඩි අවධානයක් යොමු කරනවා. ඉන් අපට වාසි රාශියක් හිමි වෙනවා. ආධාර වැඩි වෙනවා. උදව් වැඩි වෙනවා. එම තත්ත්වය මේ රටේ ජනතාවගේ අනාගතය සඳහායි. අද සිට මේ ආරම්භ වන නව රෝහලේ කටයුතු ඉලක්ක සහගතව, අංග සම්පූර්ණව ඉතාමත් ඉක්මණින් ජනතාවට හොඳ සේවාවක් ලබා දීමට හැකිවේවා කියා ආශිර්වාද කරමින් සුබපතමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි.
තෙරුවන් සරණයි!

1

3

5

6

9

10

12

{jathumbnail off}