උතුර සහ උතුරු මැද පළාත් ඇතුළුව ප්‍රදේශ කිහිපයකට මෑතක දී බලපෑ නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන් විසින් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ලබාගෙන තිබෙන රුපියල් ලක්ෂයක් හෝ ඊට අඩු ණය මුදල සම්පූර්ණයෙන්ම කපා හැරීමට රජය තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

ප්‍රධාන වශයෙන් මේ නියං තත්ත්වය උතුරු සහ උතුරු මැද පළාත්වලට බලපා තිබෙන අතර ඒ අනුව දිස්ත්‍රික්ක 13ක කාන්තාවන් බලගන්වමින් ඔවුන් විසින් මෙලෙස ලබාගෙන තිබෙන රුපියල් ලක්ෂයක් හෝ ඊට අඩු ණය මුදල සම්පූර්ණයෙන්ම කපා හැරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව තීරණය කළ බවද ඒ මහතා පෙන්වා දෙයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (22) පැවැති ණය මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. නියඟයෙන් පීඩාවට පත් උතුරු සහ උතුරු මැද පළාත් ඇතුළුව දිස්ත්‍රික්ක 13ක කාන්තාවන් සඳහා මෙම ණය මුදල් ප්‍රදානය කිරීම සිදුවිණි.
එහිදී වැඩිදුරටත් අඳහස් පළකරමින් මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේ මයික්‍රෝ සමාගම්වලින් ණය මුදල් ලබාගෙන පීඩාවට පත්ව සිටින කාන්තාවන් වෙනුවෙන් සහනයක් ලබාදෙන ලෙස සොයා බලන්නැයි අගමැතිවරයා උපදෙස් ලබාදුන් බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව සාකච්ඡා කොට මේ තීරණය ගත් බවත්ය.
මෙලෙස එම කාන්තාවන් විසින් ලබාගත් ණය මුදල් සඳහා වන පොළිය කපා හැරීම සඳහා ඒ ඒ මූල්‍ය සමාගම් විසින් එකඟතාව පළකර තිබෙන අතර වාරික මුදල ඉදිරි වසර පහක කාලයේ දී කොටස් වශයෙන් රජය විසින් ගෙවා දැමීමට සැලසුම්කර තිබෙන බවද මෙවැනි මයික්‍රෝ සමාගම් විසින් සියයට 40 සිට සියයට 220 ක් දක්වා වූ අධික පොළියක් අයකරන නමුත් මෙලෙස අයකරන පොළිය සියයට 30 ක උපරිමයක් දක්වා සංශෝධනය කිරීම වෙනුවෙන් නීති සකසන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මේ රටේ කන්න 4ක් 5ක් නියඟයක් තිබුණ බවත් ඒ හේතුවෙන් බොහෝ දෙනෙකු ණය ලබාගත් බවත්ය. බැංකුවෙන් ණය ගන්න නොහැකි නිසා ණය සමාගම්වලින් ණය ලබාගෙන එහි පොළිය සියයට 40සිට 200 දක්වා ගෙවන බවද වගාවන්ට හානිවූ පසුව ණය ගෙවාගත නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවද පැවසීය.
මේ හේතුවෙන් භාණ්ඩ අලෙවිය හා නිෂ්පාදනය අඩුවූ අතර එය හැමකෙනාටම බලපෑ බව පෙන්වාදුන් ඒ මහතා ඒ නිසා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවද ග්‍රාමීය ණය කපා හරින්න සාකච්ඡා කළ බවද සඳහන් කළේය. ක්ෂුද්‍ර සමාගම්වලින් ණය ලබාගත් අයගේ ණය ඉදිරි වසර පහේ දී ගෙවා දැමීම වෙනුවෙන් රුපියල් මිලියන 20000 ක් පමණ රජයට වැයවන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
අගමැති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්.ඒ සුමන්දිරන්, විජයකලා මහේෂ්වරන්, අගමැති ලේකම් සමන් ඒකනායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස් සමරතුංග, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.