කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන්
දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය වන ඉහළ ඇළහැර ඇළ උමං මාර්ගයේ දෙවන අදියර ඉදිකිරීම් ඇරඹේ
මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට
මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කෙරේ


පෙර රජ දවස සිට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණේ කෘෂිකර්මාන්තය මත වන අතර, එය අද දවසේ මෙන්ම හෙට දවසේ ද රටේ අනාගතය ශක්තිමත් කරන පදනම බව ජනාධිපතිතුමා පවසයි.
රටේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මොරගහකන්ද – කළුගඟ මහා සංවර්ධන ව්‍යාපෘතිය සනිටුහන් වනු ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේ මොරගහකන්ද මහා ජලාශයට සමගාමීව ඉදිවන කළු ගඟ ජලාශයේ රන් දියවර රැඳවුම් මංගල්‍යයට සහ දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය වන ඉහළ ඇළහැර ඇළ උමං මාර්ගයේ දෙවන අදියර ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ(23) එක් වෙමිනි.
අක්කර හය ලක්ෂ හැට දහසකට දියවර සැපයෙන මෙම ජලාශ ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් කෝටි 23,000 කි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද දවසේ ගොවි ජන දුක නිවන මහා වාරි වික‍්‍රමය බවට පත්ව ඇති මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය හෙට දවසේ රටේ ගොවි ආර්ථිකයත්, ජාතික ආර්ථිකයත් හැරවුම් ලක්ෂයක් කරා ගෙන යනු ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය යටතේ වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන අතර, මෙම ව්‍යාපෘතිය පෙර රජ දවසින් පසු ජාතියේ අනාගතය සහ කෘෂි ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් රට තුළ කි‍්‍රයාත්මක වන යෝධ සංවර්ධන ව්‍යාපෘතිය බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
රජරට ජනතාවගේ කඳුළු කතාව නිමා කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමට අද ඒ සඳහා උප්පැන්න ලබාදීමට කතා කරන කිසිවෙකුට එදා වුවමනාවක් නොතිබූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා 2007 වසරේ ඇරඹූ ව්‍යාපෘතියට වසර 05 ක් යන තුරු මුදල් ලබාදීමට තබා විදේශ ණය ලබා ගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලේඛනයටවත් එහි නම ඇතුළත් කිරීමට ඔවුන් කටයුතු නොකළ අයුරු ද සිහිපත් කළේය. හැකිනම් එම වාර්තා තමා වෙත ඉදිරිපත් කරන ලෙස එම සියලු දෙනාට තමා ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
වසර 27 ක තම සිහිනය සැබෑ කරමින් මොරගහකන්ද මහා ජලාශයේ රන් දියවර නිකුත් කළ දිනය තම ජීවිතයේ වඩාත්ම සතුටට පත්වූ දිනය බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
කිසිදු දූෂණයකින්, වංචාවකින් සහ අක‍්‍රමිකතාවයකින් තොරව ව්‍යාපෘතියේ කටයුතු කි‍්‍රයාත්මක වීම පිළිබඳව ද සිය සතුට පළ කළ ජනාධිපතිතුමා මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල ප‍්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ ඉදිරියට ගැටලු මතු වුවහොත් සහ එහිදී දූෂණ වංචා සිදුවන බවට තොරතුරු ඇත්නම් තමාට පුද්ගලිකවම පැමිණිලි කරන ලෙස ද ගොවි ජනතාවට ආරාධනා කළේය.
ඒ සඳහා විශේෂ දුරකථන අංකයක් සහ ෆැක්ස් අංකයක් සහිත විශේෂ ඒකකයක් ලබන සතියේ සිට මාධ්‍ය ඔස්සේ හඳුන්වාදීමට කටයුතු කරන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා එමගින් සියලු පැමිණිලි තමා වෙත ඉදිරිපත් කළ හැකි බවත්, දේශපාලනඥයෙකු, රාජ්‍ය නිලධාරියෙකු හෝ කොන්ත‍්‍රාත් සමාගමක් යම් දූෂණ වංචාවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වුවහොත් එම කිසිවෙකුට තමාගෙන් සමාවක් හිමි නොවන බවත් අවධාරණය කළේය.
මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන සීමාවෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළු ගඟ ජලාශය නිර්මාණය කෙරේ. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ 248කි. එනම් අක්කර අඩි 200,880 කි. මෙම ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන අතර උස මීටර් 68කි. වේල්ලේ මුදුණත පළල මීටර් 8ක් වේ. මෙහි අනෙකුත් සැඳලි වේල්ල ජලාශයට දකුණු පස ඉදිවන අතර එහි උස මීටර් 28ක් වෙයි. ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කි.මි 128 ක් වන අතර ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 කි.
මෙම ජලාශයේ රන් දියවර රැඳවුම් මංගල්‍යය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ලග්ගල – කළු ගඟ වේල්ල අභියසදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
වසර 27 ක් පුරා රජරට ජනතාව වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දුටු සිහිනය සැබෑ කෙරෙන මොහොතේ පළමුවෙන්ම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණේ මොරගහකන්ද වේල්ලේ එක් පසෙක කළුගලින් නිම කර තිබෙන අඩි 27 ක් උස අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීමයි.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා ප‍්‍රථම මල් පූජාව ද සිදු කළේය.
බුද්ධ ප‍්‍රතිමාවේ භාරකාරිත්වය පූජ්‍ය අලියාවලේ විපුලසාර හිමිපාණන් වහන්සේ වෙත භාරකිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක් කෙරේ. එම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය වන ඉහළ ඇළහැර ඇළ උමං මාර්ගය නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිතුමා එක් විය. කි.මි 96 ක් වන මෙම ඇළ මාර්ගය ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 6700 කි. එහි ඉතිරී කොටසේ ඉදිකිරීම ආරම්භ කිරීම ද සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.
මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීමේ සුවිශේෂි කටයුත්ත ද මෙහිදී සිදු විය. ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ මහතා මෙරට විසු කෘතහස්ත ඉංජිනේරුවකු වන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සම්බන්ධ මූලික ගවේෂණ කටයුතු සිදුකරන ලද්දේ එතුමා සමගිනි. මොරගහකන්ද ජලාශ වේල්ල ඉදිකළ යුතු ස්ථානය එම ගවේෂණ කටයුතුවලදී නිර්ණය කෙරිණ.
මෙරටට අනන්‍ය වූ තවත් නව තාක්ෂණික ඉදිකිරීම් ක‍්‍රම රැසක් නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවා සැමරීම පිණිස මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීමට පියවර ගැනිණි.
මහවැලි මෙහෙවර පුවත්පත ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරු ද, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, ජෝන් අමරතුංග, මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


කළුගඟ ජලාශයේ දිය රැඳවුම් මංගල්‍යට එක් වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2018.07.23

අද දවස මම ඉතාම සතුටු වෙන දවසක්. මෙතන ඉන්න මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, කලාකරුවන් මේ ගොවි මව්වරු, පියවරු කාගෙන් හෝ කෙනෙක් ඇසුවොත් ඔබ ජිවිතයේ වඩාත්ම සතුටු වෙන දවස කවදද කියලා. කෙනෙක් කියයි විවාහ වුණු දවස කියලා. තව කෙනෙක් කියයි දරුවෙක් ලැබුණු දවස කියලා. තව කෙනෙක් කියයි රැකියාවක් ලැබුණු දවස කියලා. මගෙන් කෙනෙක් ඇහුවොත් ජනාධිපතිතුමා කවදද වැඩිපුරම සතුටු වුණු දවස කියලා ඔබ හිතනවා ඇති මම කියයි කියලා මම ජනාධිපති වුණු දවස කියලා. නැහැ මම මගේ ජීවිතයේ ඉහළම සතුට ලබපු දවස මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් වුණු දවස. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දුක්විඳින අසරණ ගොවි ජනතාවගේ බඩගින්න නිවන්න, දුක නිවන්න, ඔබේ ආර්ථිකය ගොඩනගන්න. ඔබ ප‍්‍රාර්ථනා කරන ජාතියේ අනාගතය වගේම ඔබේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න, ඔබට යහපත් ආර්ථිකයක් ඇති කරන්න, ඒ මගින් ශක්තිමක් ජාතික ආර්ථිකයක් ගොඩනගන්න මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය අද විශාල යුග මෙහෙවරක් ඉටු කරලා තිබෙනවා.

මහවැලි ව්‍යාපාරයේ ඉතිහාසය ගත්තොත් තිහේ දශකයේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ මහත්මයා වැනි වාමාංශික නායකයින් මහවැලිය උතුරට හැරවීම පිළිබඳව කතා කළා. හතළිහේ දශකය වන විට එය තවත් වර්ධනය වී තිබුණා. සෑම ආණ්ඩුවකම සාකච්ඡාවට ලක් වුණා. මහවැලි සංවර්ධන මහ සැලැස්ම පිළිබඳව මූලික ශක්‍යතා අධ්‍යයනය සිදුකළේ 1957 වසරේදි. ඒ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ රජය යටතේ ඇමරිකන් රජයේ ආධාර ඇතිවයි. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ නායකත්වය යටතේ මහවැලියේ මුල් පියවර තැබුවා. මහවැලි විෂය භාර පළවෙනි ඇමතිවරයා වුණේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කළ සී.පී ද සිල්වා ඇමතිතුමා. 1969 පෙබරවාරි මාසයේ පොල්ගොල්ල අමුණට මුල්ගල තබලා ඩඞ්ලි සේනානායක මැතිතුමත් සී.පී. ද සිල්වා මැතිතුමත් මහවැලි ජලය පොල්ගොල්ලෙන් උතුරට හරවන්න මුල් පියවර තැබුවා. 1976 ජනවාරි මාසේ 08 වෙනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් මෛත‍්‍රීපාල සේනානායක මැතිතුමා මහවැලි ඇමතිවරයා විදියට පොල්ගොල්ල වේල්ලේ වැඩ අවසන් කරමින් උතුරු මැද ප‍්‍රදේශයට ජලය නිකුත් කළා. 77 බලයට පත් වූ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ විශේෂයෙන්ම කර්මාන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය විදුලිබල නිෂ්පාදනයට ප‍්‍රමුඛත්වය දෙමින් මහවැලි සංවර්ධන මහ සැලැස්ම ගාමිණී දිසානායක මැතිතුමාට භාර කළ වෙලාවේ කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන ආරම්භ කළා. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය පංච මහා ජලාශ ඉදි වුණා. ගාමිණි දිසානායක මැතිතුමා මේ රටේ ප‍්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක‍්‍රමය විදියට මහවැලි සංවර්ධන ව්‍යාපාරය විදුලි නිෂ්පාදනය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත සංවර්ධනය, විවිධ ක්ෂේත‍්‍රවල ආයෝජන යන අංශ ඔස්සේ සාර්ථකව විහිදුව කීර්තිමත් නායකයෙක් බවට පත් වුණා. එදා සිට කටයුතු කළ ඒ සියලුදෙනාට අපේ ගෞරවය පුද කළ යුතුයි. ගාමිණී අතුකෝරල, පී දයාරත්න, ඇමතිවරුන්ගෙන් පස්සේ මහවැලි ඇමති ධුරය දැරුවේ මම. මගෙන් පස්සේ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා ඇමතිතුමාට මෙය හිමි වුණා. නැවතත් ඒ අමාත්‍ය ධුරය මට හිමි වුණා. පසුව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා භාරයට පත් වුණා. මෙසේ පියවරෙන් පියවර, අදියරෙන් අදියර මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන යෝධතම මහා සංවර්ධන ව්‍යාපෘතිය බවට පත් වුණා.

එදා කඩිනම් මහවැලියට පංච මහා ජලාශ ඉදිකරන්න රුපියල් කෝටි හත්දහස් ගණනක් වැය වුණා. අද මොරගහකන්ද කළුගඟ, මිනිපේ මහ ඇළ, උතුරු මැද මහ ඇළ, ඉහළ ඇළ හැර, වයඹ මහ ඇළ, මේ මහ ඇළවල් සමග ප‍්‍රතිසංස්කරණය වෙන, ඉදිවෙන වැව් 2400 ක් සඳහා රුපියල් කෝටි 22,000 ක් අපි වැය කරනවා. මේ යුගයේ පමණක් නොවෙයි පෙර රජ දවසින් පසු මේ රටේ ජාතියේ අනාගතය සඳහා ක‍්‍රියාත්මක වන, ජාතික ආර්ථිකය ශක්තිමත් කරන, ගොවි දුක නිවන යෝධතම ඓතිහාසික මහා වික‍්‍රමය මේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය යි කියලා මම කියනවා. මේ සඳහා අපිට චීන රජයෙන් ණය ආධාර හිමි වුණා. රුපියල් කෝටි 23,000 ට ආසන්න මුදලක් මේ සඳහා වැය කරමින් මෙම යෝධ ව්‍යාපෘතියට අතහිත දෙන, අනුග‍්‍රහය දක්වන මුල්‍ය දායකත්වය දෙන රටවල් පිළිබඳව මේ අවස්ථාවේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. චීනය, ඔපෙක් අරමුදල, සවුදි අරමුදල. කුවෙට් අරමුදල. ආසියානු සංවර්ධන බැංකුව, ජපන් රජය ශ‍්‍රී ලංකා රජය සමග මුල්‍ය දායකත්වය දරනවා. මේ දැවැන්ත අනුග‍්‍රහය අපට ලැබෙන්නේ වර්තමාන රජය බිහිවුණාට පස්සේ ඇති කරගත් ජාත්‍යන්තර සහයෝගිතාව නිසයි.

ඇතැම් අය අපෙන් අහනවා අපි මොනවද ආණ්ඩුවක් විදියට කෙරුවේ කියලා. මට කියන්න කනගාටුයි. නොකියත් බැහැ. කියලත් බැහැ. පසුගිය සතියේ සිට මේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පිළිබඳව මාධ්‍ය තුළ ප‍්‍රචාරය වෙන්න ගත්තට පසුව මේ ව්‍යාපෘතියට උප්පැන්නේ දෙන්න හුඟක් අය ඉදිරිපත් වෙලා ඉන්නවා. 1994 මේ රටේ කීර්තිමත් ඉංජිනේරුවරයෙක් වූ ආචාර්ය කුලසිංහ මහත්මයා සහ ඉංජිනේරු කණ්ඩායම සමග මේ මහා කැලේට මම ඇතුල් වෙන වෙලාවේ ආචාර්ය කුලසිංහයන් සිතියම අරගෙන මෙතනින් වේල්ල හැදෙන්නේ. මෙතන ජලය රැස්වෙන්නේ. මේ මොරගහකන්ද. මේ කළුගඟ, මෙතනින් කළුගඟ හරස් වෙන්නේ. මෙතනින් වයඹ ඇළ හැදෙන්නේ. මෙතනින් උතුරු මැදින් ගිහිල්ලා උතුරට වතුර යන්නේ. මෙතනින් මේ විදියට ජලය ගලා ගෙන ගිහින් අනුරාධපුර, පොළොන්නරුව එහා පැත්තට ත‍්‍රිකුණාමලයට ජලය යන්නේ කියලා මේ මහා වනාන්තරයේ ගල් අස්සේ රිංග රිංග ආචාර්ය කුලසිංහයන් මේ ඓතිහාසික මහා සංවර්ධන යෝධ වික‍්‍රමය පිළිබඳව මාව දැනුවත් කරන විට ඔය උප්පැන්න දෙන්න අද කතා කරන කවුරුවත් ඒ අවස්ථාව දැකලත් නැහැ. දන්නෙත් නැහැ.

2007 ජනවාරි මාසේ 25 වෙනිදා මෙහි වැඩ ආරම්භ කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයත් එක්ක මුල්ගල තිබ්බා. වසර 05 ක් ගත වුණා. 2007 පළවෙනි අවුරුද්දේම මේ ව්‍යාපෘතියේ වැඩවලට විදේශ ණය ආධාර ගන්න මම ජපානය එක්ක කතා කළා ඒ සඳහා ජයිකා ඉදිරිපත් වුණා. චීනයේ මුල්‍ය ආයතන එක්ක කතා කළා. සල්ලි දෙන්න එකඟ වුණා. සවුදි, කුවෙට් ආයතන එක්ක කතා කළා. සල්ලි දෙන්න එකග වුණා. ඒ සියලු කඩදාසි මම එදා ආණ්ඩුවට ඉදිරිපත් කෙරුවා. පළවෙනි අවුරුදු පහේ අඩු වශයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට වත් මේ ව්‍යාපෘතිය ඇතුළත් කළේ නැහැ. ප‍්‍රමුඛතාවය තියා විදේශ ණය ආධාර ගන්න ඒ ලේඛනයටවත් ඇතුළ් කළේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මේකට උප්පැන්න දෙන්න කතා කරන අයට මම ආරාධනා කරනවා 2007 ඉඳලා 2012 වෙනකන් අවුරුදු 05 ක වාර්තා පුළුවන්නම් මට පෙන්වන්න කියලා. මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මේ ව්‍යාපෘතියේ නම වත් සටහන් කළා ද කියලා. මම එදා මේ වෙනුවෙන් කඳුළු හලපු මිනිහෙක්. 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කළේ එදා මේ වගේ අසාධාරණකම් සිදු වුණු නිසා. වසර පහක්, හයක් මේ ව්‍යාපෘතිය පරක්කු වෙන කොට ආදරණීය ගොවි පියවරුනි, මව්වරුනි, ඔබ හිතන්න ඕනෑ අද මේ රැස්වෙලා ඉන්න මේ උත්සව භූමියේ ඔබට රැස් වෙන්න තිබුණේ මීට අවුරුදු 07 කට කලින්. මොරගහකන්දේ ජලය නිකුත් කරන්න තිබුණේ 2012. නමුත් ඒ කිසිවක් එදා සිද්ධ වුණේ නැහැ. මේ කඳුළු හෙළන අහිංසක ගොවි ජනතාවගේ දුක නිවන්න එයට උප්පැන්නේ දෙන්න කතා කරන අයට උවමනාවක් තිබුණේ නැහැ.
මම මේ ඇත්ත කතා කරන්නේ. එදා ආණ්ඩුවේ අපි දහසකුත් බාධක මධ්‍යයේ මේ වෙනුවෙන් සටන් කළා. එහි ප‍්‍රතිඵලයක් විදියට තමයි අවුරුදු 05 කට පස්සේ 2012 චීන රජයෙන් ණය මුදලක් ගත්තේ. මම එදා සෞඛ්‍ය ඇමතිවරයාව සිටියත් මගේ සිහිනය වී තිබුණේ ගොවි ජනතාවගේ කඳුළු කතාවට තිත තබන්න. එදා ගොවීන් ජලයට පොරකන්න ගිහින් උදලු පහරවල්වලට ලක්වෙලා මැරුණා. ජලය නැතිව ගැටුම් ඇති කරගත් ගොවීන් කඩු පහරවලට ලක් වුණා. ගොවීන් ජලය නැතිව වෙඩි කාලා මැරුණා. අනුරාධපුර, පොළොන්නරු, ත‍්‍රිකුණාමල වගේම අනික් දිස්ත‍්‍රික්කවලත් ජලයට ආරවුුල් හදාගෙන ගැටුම් හදාගෙන පසුගිය දශක කීපයේ මේ රටේ ගොවීන් කී දෙනෙකුගේ ජීවිත විනාශ වෙලා තිබෙනවද? ලෙයින්, කඳුළින්, ජීවිතවලින්, සුසුමින්, දහඩියෙන්, ගොවීන් ප‍්‍රාර්ථනා කළ දේ කලට වේලාවට ලබා නොදී ආණ්ඩුවේ දේශපාලන අර්බුද හදාගෙන එදා මේ රටේ ජාතික ආර්ථිකය දුර්වල තත්ත්වයට ඇද දැමීම ගැන මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ප‍්‍රමාද කළ අය වගකියන්න ඕනෑ. මේවා නොකියා බැහැ. ආණ්ඩුවක් විදියට අපි කරන වැඩ. අපි කතා කරන දේවල්. පාර්ලිමේන්තුවේ කතා කරන දේවල්. මාධ්‍යවල කියන්නේ නැහැ. ඇතැම් පුද්ගලික මාධ්‍ය අවශය දේ නෙවෙයි ප‍්‍රචාරය කරන්නේ. ඇතැම් වෙලාවට අපේ කටින් පිටවෙන අනවශ්‍ය දේවල් තමයි ප‍්‍රචාරය කරන්නේ. මාධ්‍යවල තිබෙන්නේ ආණ්ඩු විරෝධී ප‍්‍රචාරය. හවසට මාධ්‍ය දිහා බලපුවහම රටේ ආණ්ඩුවක් නැහැ. මාධ්‍ය වල තිබෙන්නේ රට විනාශ වෙනවා කියලා පෙන්වන එක. මම හරි කනගාටු වෙනවා ඒ ගැන. මම පසුගිය අවුරුදු තුනහමාරේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කෙරුවේ, මිනිස්සුන්ගේ නිදහස ශක්තිමත් කෙරුවේ, මේ රටේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්න. සත්‍ය දේ පෙන්වන්න. නිවැරදි දේ ලෝකයට සමාජයට දෙන්න.
දේශපාලන ආරවුල්, ගැටුම්, වැඩක් නැති අනවශ්‍ය අශීලාචාර කතන්දරවලට ප‍්‍රමුඛත්වය දෙන්න නෙවෙයි. අද අපිට අවහිර කරන අපේ වැඩවලට නිසි ප‍්‍රචාරයක් නොදෙන මාධ්‍ය මිත‍්‍රයින්ට, මාධ්‍ය ප‍්‍රධානීන්ට මම බොහෝම ගෞරවයෙන් කාරුණිකව කියනවා අපිට ගහලා, අපිව දුර්වල කරලා, අපිව විනාශ කරලා, අපිව ඇද දමලා දුන්නු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරගෙන දීලා තිබෙන මිනිස් නිදහස නැති කර ගෙන, දීලා තිබෙන මාධ්‍ය නිදහස නැති කරගෙන නැවත දවසක කඳුළු හළන්න එපා. අපි ඉපදෙනවා වගේම මැරෙන මිනිස්සු. ජීවත් වෙලා ඉන්න කාලය තුළ නිවැරදි දේ කිරීම, ජාතියට සේවය කිරීම, මිනිසුන්ට සේවය කිරීම, දුප්පතාගේ දුක හඳුනා ගැනීම, මිනිසුන්ගේ කඳුළු දහඩිය වේදනා ඒ සියල්ල හඳුනාගෙන ඒවාට විසඳුම් දීමයි ආණ්ඩුවක අවංක සහ පවිත‍්‍ර චේතනාව විය යුත්තේ. මේ ව්‍යාපෘතිය කෝටි 23,000 කට ආසන්නයි. මේ ඉන්න ආදරණීය ගොවි නායකයින්ට ගොවි සංවිධානවල වෙනත් විවිධ ස්වෙච්ඡුා සංවිධානවලට මම කියනවා මේ යෝධ ව්‍යාපෘතිය මගේ යටතට අරගෙන වසර තුනහමාරකට වැඩියි. මේ කාලසීමාව තුළ මේකේ දූෂණ වංචා හොරකම් තියනවයි කියලා මට කිසිම තැනකින් කියනවා ඇහුනේ නැහැ. මම ඒ ගැන සතුටු වෙනවා.

පෙර රජ දවසේ සිට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණේ කෘෂිකර්මාන්තය නිසා. අද දවසත් හෙට දවසෙත් මේ රටේ අනාගතය ශක්තිමත් කරන පදනම වෙන්නේ කෘෂි කර්මාන්තය. අද ලෝකයේ සෑම ආණ්ඩුවක්ම ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම ගැන අවධානය යොමු කර තිබෙනවා. මේ රටේ කලින් ආණ්ඩුත් ඒ පිළිබඳව කතා කළා. අපේ ආණ්ඩුවත් කතා කරනවා. අපේ ආණ්ඩුවත් ආයෝජන ගන්නවා. ආයෝජන එක්කම එන දූෂණය, වැළැක්වීම අද ලෝකයේම අසීරු දෙයක් වෙලා තිබෙනවා. විදේශීය ආයෝජන නිසා දේශපාලනඥයින් දූෂිත වෙනවා. රාජ්‍ය නිලධාරීන් දූෂිත වෙනවා. ඒවාට සම්බන්ධ වන ඇතැම් සිවිල් සාමාන්‍ය ජනතාව දූෂිත වෙනවා. අපේ රටේ වගේම මුළු ලෝකයේම මේක බරපතළ ප‍්‍රශ්නයක්. අද හොරකම, දූෂණය ගැන කතා කරන කොට ලෝකයේ ප‍්‍රබල රටවල්වලටත් ඒක ප‍්‍රශ්නයක්. මම රටවල්වල නම් කියන්නේ නැහැ. නමුත් දූෂණය, වංචාව, නාස්තිය නැතිව රටේ සංවර්ධනයට තිබෙන පැහැදිලි පවිත‍්‍ර මාර්ගය තමයි ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේදී කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම, ගොවියා ශක්තිමත් කිරීම, ගොවියාගේ දහදිය කඳුළු හඳුනාගෙන ඔවුන්ගේ ගැටලුවලට පිළියම් යෙදීම කියලා මම බොහෝම පැහැදිලිව කියනවා.

මේ කෝටි 23,000 කට ආසන්න මුදල වැය කරන විට මෙහි ජලාශ, මහ ඇළවේලි, වැව්, උමං ආදි ඉදි කරද්දි, කොහේ හරි කවුරු හරි නියමිත ප‍්‍රමිතියෙන් තොරව කොන්ත‍්‍රාත් කරනවා නම් කොන්ත‍්‍රාත් කරුවන් පිළිබඳව මට පුද්ගලිකව පැමිණිලි කරන්න කියලා මම සියලු ගොවි නායකයන්ගෙන් ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඉදිකිරීම්වලදි දූෂණ වංචා සිදු වෙනවා නම් මට පුද්ගලිකව පැමිණිලි කරන්න. මේ ව්‍යාපෘතිවල දූෂණ වංචා සිදුකළොත් කිසිම දේශපාලනඥයෙකුටවත්, කිසිම රාජ්‍ය නිලධාරියෙකුටවත් කිසිම කොන්ත‍්‍රාත් සමාගමකටවත් මම කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඒවගේම ඒ අයට දෙන්න තිබෙන ඉහළම දඬුවම මම ලබා දෙනවා. මම ලබන සතියේ සිට මේ පැමිණ සිටින ඔබට වගේම මේ ගොවි බිම්වල ජීවත් වන පළාත් පහක හයක ජනතාවට වගේම මුළු රටේ ජනතාවට විශේෂ ඒකකයත් හඳුන්වා දෙනවා. මාධ්‍ය හරහා විශේෂ දුරකථන අංක සමග විශේෂ ෆැක්ස් අංක එක්ක මේ ව්‍යාපෘතියේ කොහේ හරි දූෂණ වංචා සිදු වෙනවා නම් වහාම ඒවා දැනුම්දීම සඳහා වෙනම ඒකකයක් ගොවි ජනතාව වෙනුවෙන් විවෘත කරනවා. ඔබට පුළුවන් ඒ සඳහා තොරතුරු ලබා දෙන්න. ඒ ගැන මම විශේෂෙයන්ම මතක් කරන්න ඕනෑ.

මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය කැප වීමෙන් ආරම්භ කළා වගේම උසස් ප‍්‍රමිතියකින්, හොඳ නිර්මාණයකින් ඉදිරියට ශක්තිමත්ව ඉදිකිරීම් කටයුතු කරගෙන යෑම අවශ්‍යය යි. මේ පිළිබඳව ක‍්‍රියා කරන සියලුම රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්තුමා, අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා ඇතුළු නිලධාරීන් මහවැලි, වාරිමාර්ග, සීසීපී, ආයතන ඇතුළු මීට දායකත්වය දෙන අනික් සියලු අමාත්‍යාංශ, විදුලිබල ඒ වගේම සියලුම ඉංජිනේරුවරු, කාර්මික නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් ඒ සෑම කෙනෙක්ම රට වෙනුවෙන් මේ රටේ ජාතියේ අනාගතය වෙනුවෙන් මේ මහා යෝධ ව්‍යාපෘතිය ඉතාමත්ම පවිත‍්‍රව, දූෂණයෙන් වංචාවෙන් තොරව ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ සෑම කෙනෙක් කෙරෙහිම මම විශ්වාසය තබනවා. ඒ විශ්වාසය කඩන්න එපා කියලා මම ගෞරවනීය ඉල්ලීමක් කරනවා. කෙනෙක් ඒ විශ්වාසය කැඩුවොත් මේ යෝධ ව්‍යාපෘතියෙන් රුපියලක් සොරකම් කළත් කෝටියක් හොරකම් කළත් එය ජාතියේ සාපයට ලක් වෙනවා.

ඒ සිය පරම්පරාවේම සාපයට ලක් වෙනවා. පෙර පැරකුම් මහ රජ දවසේ තිබුණු ඒ ආර්ථික ශ‍්‍රී විභූතිය සමෘද්ධිය ඇති කරන්න සාහිත්‍ය, කලාව, විද්‍යාව, තාක්ෂණය ඒ සියල්ලත් සමග ජාතික කෘෂි ආර්ථිකය ශක්තිමත් කරමින් අධි තාක්ෂණික ලෝකය ජය ගන්න ආදරණීය ගොවි පියවරුනි, මව්වරුනි, ඔබේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරන්න, ඔබේ රත්තරන් දරුවන්ට අනාගතයක් දෙන්න, ඔබේ අහිංසක දරුවන්ට තුන්වේල කන්න දෙන්න, දරුවා පාසල් යවන විට පාසලට ගිහිල්ලා උදේ කාලා ආවේ නැහැයි කියලා පාසලේ කලන්තේ හැදෙන්නේ නැති දරුවෙක් ගෙදරින් යවන්න, ලෝකෙට ණය වෙන්නේ නැතිව, පොලී කාරයන්ට ණය වෙන්නේ නැතිව, රටට ණය වෙන්නේ නැතිව, ආණ්ඩුවට ණය වෙන්නේ නැතිව ඔළුව උස්සලා ඉන්න, ආර්ථික සමෘද්ධියෙන් ශක්තිමත් ගොවි ජනතාවක් බිහි කරන්න, මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය සමග ඔබ වෙනුවෙන් මමත් මගේ ඇමති මණ්ඩලයත් අගමැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමග අප සියලුදෙනාම ඔබ වෙනුවෙන් කැපවෙනවයි කියන ප‍්‍රතිඥාව අද දවසේ ඔබ සියලුදෙනාට දෙනවා.

අද මේ යෝධ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක කරන්න මේ උත්සව සංවිධානය කරමින් තාක්ෂණික අංශවල කටයුතු සාර්ථක කරන්නට කටයුතු කළ ජනාධිපති ලේකම්තුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහත්මයා ඇතුළු එතුමා සමග කටයුතු කරන කාර්යමණ්ඩල, මහවැලි අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු ඒ කාර්යයමණ්ඩල, වාරිමාර්ග, සීසීබී, විදුලිබල මේ සියලු ආයතනවල නම් කියන්න කාලය ගන්නේ නැහැ. සියලු ඉංජිනේරුවරුන්, කාර්මික නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන්, විදේශීය ඉදිකිරීම් සමාගම්, විදේශීය ආයතන, විදේශීය සම්පත් දායකයින්, තාක්ෂණ උපදේශකවරුන් ඒවගේම ලංකාවේ දුර බැහැර පළාත් ගණනාවකින් පැමිණි මගේ ආදරණීය ගොවි මව්වරු, පියවරු ඇතුළු පැමිණ සිටින සියලුම ආරාධිතයින්, මැති ඇමතිවරුන් ප‍්‍රමුඛව ඔබ සියලුදෙනාට මම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. මේ යෝධ ඓතිහාසික මහ යුග මෙහෙවර සාර්ථකව ඉටු කරන්න, ජාතියේ අනාගතය ශක්තිමත් කරන්න, සමෘද්ධිමත් රටක් ගොඩනඟන්න, ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් විදියට ගොඩනැඟෙන්න අධි තාක්ෂණයත් සමග හෙට උපදින දරුවන්ට තරගකාරි සමාජයේ ජාත්‍යන්තර ලෝකය ජය ගන්න දොරටු විවෘත කරන්න, ඔබ අප සියලුදෙනා එක්වෙමු. සියලු රාජ්‍ය මාධ්‍ය, සියලු රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන, විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවේදීන්, මාධ්‍ය ප‍්‍රධානීන් ඒ සියලුදෙනාටත් මගේ ගෞවනීය ස්තූතිය පුද කරනවා. ඔබ සෑම කෙනෙක්ම මේ සඳහා දක්වන්නාවූ කැපවීම, සහයෝගය පරිත්‍යාගශීලීභාවය, අනුග‍්‍රහයට ඔබ සියලුදෙනාටම ජයෙන් ජය.
තෙරුවන් සරණයි.
දෙවි පිහිටයි.

k0

k3

k4

k9

k11

k7

k5

k6

k1

k8

k10

k13

k12

{jathumbnail off}