ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වශයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමුව පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේ දී ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සබරගමුව පළාත තුළ ක්‍රියාත්මක වන අන්දම සහ එහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ පුළුල් වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇත.
එමෙන්ම ප්‍රදේශයේ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා විසඳීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම ද මෙහිදී සිදු කෙරේ.
මෙතෙක් රට තුළ ක්‍රියාවට නංවා තිබෙන දිළිඳුකම පිටුදැකීමේ ජනතා ව්‍යාපාර අතරින් ග්‍රාම ශක්ති ව්‍යාපාරය වෙනස් ව්‍යාපාරයක් බවට පත්වන්නේ එය යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්ව උත්සාහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම හේතුවෙනි.
සබරගමුව පළාතේ අඩු ආදායම්ලාභී ජතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග්‍රාම ශක්ති ව්‍යාපාරය හරහා ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබෙන අතර හෙට පැවැත්වෙන සබරගමු පළාත් මෙහෙයුම් කමිටුවේදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරු වෙත ග්‍රාම ශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන පළමු වාරිකය ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වෙයි.
මින් අනතුරුව ජනාධිපතිතුමා ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන ගනේගම නිෂ්පාදන ගම්මානයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් එම ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බලනු ඇත.