ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) 34 වැනි වරටත් පවත්වන සරසවි සම්මාන උළෙල අද (3) සවස 6ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.


2016 හා 2017 දෙවර්ෂයේ මෙරට සිනමාවේ තිරගත වූ චිතපට සඳහා සම්මාන පිදීම මෙවර සිදු වේ . ඊට අමතරව එම දෙවර්ෂයෙහි රැඟුම්පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබූ එහෙත් තවමත් තිරගත නොවූ අධ්‍යක්ෂකවරුන්ගේ මුල්ම සිනමා කෘතිය උදෙසා ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් සම්මානය පිරිනැමෙනු ඇත.
ලාංකීය සිනමා කර්මාන්තය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා පිරිනමන රණතිසර සම්මානයන් ද, සිනමා සාහිත්‍ය උදෙසා පිරිනමන රණපාල බෝදිනාගොඩ සම්මානය ද මෙවරත් පිරිනැමෙනු ඇත.
වසරේ ජනප්‍රියම චිත්‍රපටය සඳහා සම්මාන පිරිනැමෙන්නේ ඒ ඒ වර්ෂයන්ගේ වැඩිම ආදායම් සලකා බැලීමෙනි. මෙවර පිදෙන සම්පූර්ණ සම්මාන සංඛ්‍යාව සම්මාන 64කි.