යුද්ධය නිමා කර ආර්ථික යුද්ධය වෙනුවෙන් අවධානය යොමු කර පේදුරුතුඩුවේ සිට හම්බන්තොට දක්වා ආර්ථිකයෙන් රටම සංවර්ධනය කිරීම සඳහා යහපාලන ආණ්ඩුව රටේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන 5000 ක් වටිනා ගොඩනැඟිලි විවෘත කිරීම පසුගියදා (04) සිදුකෙරිණි. එම අවස්ථාවට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසිය.
යහපාලන ආණ්ඩුව බලයට පත්ව රටේ සංහිඳියාව වෙනුවෙන් වසර තුනක්ම වැය කළා. දැන් උතුරේ සංවර්ධනය ඇතුළු මුළු රටේම සංවර්ධනය වෙනුවෙන් අවාධානය යොමු කිරීමට කාලය එළැඹ තිබෙනවා.
පසුගිය කාලයේ පැවැති යුද්ධය හේතුවෙන් මේ විශ්වවිද්‍යාලය ගැන අවධානය යොමු කිරීමට නොහැකි වූණා. උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා යටතේ විශ්වවිද්‍යාල පද්ධතිය සංවර්ධනය කිරීමේ විශාල ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. උතුරු සංවර්ධන වැඩසටහනට අදාළව උතුරු පළාතම දියුණු කරනවා. උතුරේ ආර්ථිකය ශක්තිමත් කිරීම සමස්ථ රටේම ආර්ථික සංවර්ධනයට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම කිළිනොච්චි ව්‍යාපෘති ආරම්භ කිරීම, කන්කසන්තුරේ වරාය හා කර්මාන්ත ශාලා ඉදි කිරීම, මන්නාරම - වවුනියාව - ත්‍රිකුණාමලය මාර්ගය අලුතින් ඉදි කිරීම, සංචාරක හා කෘෂි කර්මාන්ත ක්ෂේත්‍ර දියුණු කිරීම, වාරිමාර්ග තාක්ෂණය දියුණු කිරීම යනාදිය මඟින් උතුර දියුණු කරන්නට පියවර ගෙන තිබෙනවා.