ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම 34 වැනි වරටත් සංවිධානය කළ හෙළයේ මහා සිනමා මංගල්‍යය සරසවිය සම්මාන උළෙල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (3 )දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
එහිදි 2016 සහ 2017 වසරවලදී මෙරට ප්‍රදර්ශනය වු චිත්‍රපට සඳහා සම්මාන ප්රදානය සිදු කෙරිණි. ප්‍රධාන සම්මාන ප්‍රධානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ අතර අනකුත් සම්මාන ප්රදානය කතානායක කරූ ජයසුරිය, මුදල් සහ ජනමාධ්‍ය අැමැති මංගල සමරවීර සහ නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියවන්න, එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිශාන්ත කුරේ, එහි කර්තා මණ්ඩල අධ්යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, කාර්ගිල්ස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ රංජිත් පේජ්, සරසවි කර්තෘ අරුණ ගුණරත්න මහත්වරුන් සහ සිනමා කර්මාන්තයේ ප්‍රවීනයන් අතින් සිදු කෙරිණි.
සම්මාන උළේලේ සුවිශේෂි සම්මානයක් ලෙස සරසවිය නිර්මාණාභිෂේක සම්මානයෙන් හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පුද ලබනු ලැබු අතර ඒ මහතාගේ බිරිය සම්මානනීය සිනමාවේදීනි සුමිත්‍රා පීරිස් මහත්මිය ඒ සම්මානය ලබා ගත්තාය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවෙන් බැස ඇය වෙත ගොස් සම්මානය පිරිනැමූවේය.
2016 සහ 2017 වසරවල රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා මෙතෙක් තිරගත නොවූ සිය මංගල චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරුන් සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් අනුස්මරණ සම්මාන පිරිනැමීමද මෙවර සම්මාන උළේලේ විශේෂත්වයක් විය.
ජීවිතයේ එක් වරක් පමණක් පුද කෙරෙන රණතිසර සම්මාන මෙවර ලබා ගත්තේ සිනමා කර්මාන්තයට අනගි මෙහෙයක් සිදු කළ අසහාය රංගනවේදීයකු වන රොබින් ප්‍රනාන්දු මහතා සහ රංගනවේදිනියන් වන ස්විනීතා වීරසිංහ සහ ශ්‍රියානි අමරසේන මහත්මියන්ය.
2016 වසර සඳහා හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුයේ ශමිර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ මෝටර් බයිසිකල් චිත්‍රපටයයි. 2017 වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ විසි අට චිත්‍රපටයයි.
2016 වසරේ හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස ඇගේ ඇස අග චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් අශෝක හඳගමද 2017 වසරේ හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස විසි අට චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩිද සම්මානයට පාත්‍ර විය.
වසරේ ආකර්ෂණීයම සම්මාන යුගලය වන හොඳම නළුවා සහ නිළිය සම්මාන 2016 වසර වෙනුවෙන් දිනා ගත්තේ පූජා උමාශංකර් සහ දසුන් පතිරණයි. ඒ "සරිගම" චිත්‍රපටයේ සහ "මෝටර් බයිසිකල්" චිත්‍රපටවල සිදු කළ රංගන දායකත්වය වෙනුවෙනි.
හොඳම නළුවා සහ නිළිය සම්මාන ද්විත්වය 2017 වසර වෙනුවෙන් දිනා ගත්තේ නිම්නයක හුදකලාව චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් සෞම්‍ය ඉන්ද්‍රජිත් සහ ප්‍රේමය නම් චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් සමනලී ෆොන්සේකායි.
උසාවිය නිහඬයි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රසන්න විතානගේ සහ ඇගේ ඇස අග චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් රිදීකා කොඩිතුවක්කු ජූරියේ විශේෂ සම්මානයන්ට පාත්‍ර විය.ෙ