දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ද සළකා බලමින් සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට විශේෂ රාජ්‍ය කොමිසමක් පත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (9) ප්‍රකාශ කළේය.
ලබන සතිය වනවිට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම විශේෂ රාජ්‍ය කොමිසම පත්කිරීම කඩිනමින් සිදුකරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
දුම්රිය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම සිදුකළ හොත් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් තලවල අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වන බැවින් මාස තුනක් ඇතුළත දුම්රිය සේවකයන්ගේ මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන බවත් ඇමැතිවරයා පැවැසීය.
දුම්රිය සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළහැකි බවත් එම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වර්ජනය නවතා සේවයට වාර්තා කරන ලෙසත් ඇමැතිවරයා ඉල්ලීමක් කළේය.
මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම හා එකතු කළ අගය මත බඳු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කළේ දුම්රිය එන්ජින් රියදුරන් ඉල්ලා ඇති වැටුප් වැඩිකිරීම සිදුකළා නම් එය වෛද්‍යවරුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් ආදීන්ටත් වඩා වැඩිවන බවයි. එසේ සිදුකළේ නම් සමස්ත රාජ්‍ය සේවය තුළම අර්බදුකාරි තත්ත්වයක් ඇතිවන බැවින් විශේෂ රාජ්‍ය කොමිසම මඟින් මෙම ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි බවත් වැඩිදුරටත් පැවැසීය.