අපට ලෝකයට ලබාදිය හැකි උතුම්ම දායාදය බෞද්ධ දර්ශනය බව ජනපති පවසයි.


ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත‍්‍ර වූ ශ‍්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය පෞරාණික චාරිත‍්‍රවලට ගරුකරමින් මෙවර ද සාර්ථකව පවත්වා අවසන් කළ බවට සංදේශය, සාම්ප‍්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් ඊයේ (26) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.
පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහ දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප‍්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.
අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප‍්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ බෞද්ධ රටක් ලෙස අපට ලෝකයට ලබාදිය හැකි උතුම්ම දායාදය බෞද්ධ දර්ශනය බවයි. ථේරවාදී බුදුදහමේ මධ්‍යස්ථානය වූ අපේ රටේ බෞද්ධ උරුමය සහ සංස්කෘතිය පිළිබඳ උතුම් පණිවිඩය මෙම ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යය මගින් ලෝක ප‍්‍රජාවට ලබාදෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
මෙම පෙරහැර මංගල්‍යය තුළින් අපේ රටේ ඓතිහාසික පසුබිම සහ සංස්කෘතික උරුමය මෙන්ම විනය, හැදියාව, හික්මීම මෙන්ම සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය රැක ගැනීම වෙනුවෙන් වූ කැපවීම මනාව පිළිබිඹු කෙරෙන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම විශිෂ්ට දායාදයන් සහ ඓතිහාසික වටිනාකම් එලෙසින්ම රැක ගනිමින් මතු පරපුරට එය දායාද කිරීමේ වගකීම ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් කැපවූ සියලු දෙනා වෙත සිය ස්තුතිය පිරිනැමීය.
පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත සාම්ප‍්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
සතර මහා දේවාලවල හ පිටිසර දේවාලවල සංරක්ෂණ කටයුතු සඳහා මුල්‍යාධාර පිරිනැමුණේ ද ජනාධිපතිතුමා අතිනි.
“පූජනීය දළදා සංස්කෘතිය” 13 වන කලාපය මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ඉන් අනතුරුව චිරාගත සම්ප‍්‍රදායානුකූලව ජනාධිපතිතුමා ඇතුළු නිලමේවරුන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
ශ‍්‍රී දළදා මාළිගාවේ පුලතිසි රාජා ඇත් පැටවා වෙත පළතුරු සංග‍්‍රහයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

EP1

EP2

EP3

EP5

EP6

EP7

EP10

EP12

{jathumbnail off}