ඓතිහාසික වෙල්ලස්සේ ජනතාව ප්‍රධාන ශ්‍රී ලාංකීය ජාතියේ ව්‍යවසායකත්ව හැකියාව වැඩිදියුණු කිරීමට මඟකියාදෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද (29) දින සිට තෙදිනක් පුරා මොණරාගල දී පැවැත්වේ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු යහපාලන ජාතික රජයේ තෙවසරක පාලන සමයේ රටේ සිදුවූ සංවර්ධනය, සිදුවෙමින් පවතින දියුණුව හා වසර 2025 වනවිට රට රැගෙන යෑමට නියමිත සංවර්ධනයේ අභිසෙස් මඟ පිළිබඳව රටේ සමස්ත ජනතාවට මේ ප්‍රදර්ශනයෙන් කරුණු කාරණා දැකබලාගත හැකිය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර 2025 දැක්ම (V2025) ට අනුව පොහොසත් රටක් බිහි කිරීම සඳහා අවශ්‍ය දැනුම පදනම් කරගත් සමාජ වෙළෙඳපොළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරමින් සිටින බව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ සංකල්පය ඉදිරිපත් කළ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල අක්කර 22ක භූමියක ප්‍රදර්ශන කලාප 12කින් යුතුව මේ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. දැවැන්ත අධ්‍යපන කලාපයක් , ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම සඳහා විනෝද කලාපයකින්ද සමන්විතය.නව ව්‍යවසායකයකු, නව නිපැයුම්කරුවකු රටට, ලොවට හඳුන්වාදීම, ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සියලු උපකාරක සේවා සැපැයීම මේ ප්‍රදර්ශනයෙන් සිදුවේ. ඊට අමතරව  මොණරාගල දිස්ත්‍රික්කයේ සෑම ගම්නියම්ගමකම යටිතල පහසුකම් දියුණු කිරීමේ ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළද මෙහි ක්‍රියාත්මක වේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සෑම දිනකම පෙරවරු 10.00 සිට රාත්‍රී 12.00 දක්වා මහජනතාව සඳහා විවෘතව තබනු ලැබේ.

ප්‍රථම දිනය නිල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 4.00ට ආරම්භ වීමට නියමිත අතර මේ අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර , රාජ්‍ය පරිපාලන,  කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන  අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා , ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක , මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන්  වික්‍රමරත්න , මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කතානායක ආනන්ද  කුමාරසිරි යන මහත්වරු ඇතුළුව මොණරාගල දිසාපතිතුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්වීමට නියමිතය .