මොණරාගල දී නිමාව දුටු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මෑතක දී ශ්‍රී ලංකාවේ පැවැත්වූ අති සාර්ථකම ප්‍රදර්ශනය බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.


දින තුනක කාලයක් පැවති එම ප්‍රදර්ශනය සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ පමණක් නොව අවට දිස්ත්‍රික්කවලින් ද 600,000කට වැඩි පිරිසක් පැමිණි බව පෙන්වා දෙන ඒ මහතා ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා විවිධ වැඩසටහන් විශාල ප්‍රමාණයක් සංවිධාන කර තිබු බවද ඒ සඳහා ප්‍රදර්ශනය නරඹන්නන්ගේ විශාල උනන්දුවක් පැවැති බවද පෙන්වා දෙයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගිය 04 වැනිදා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ දින තුනක කාලයක් පැවති ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 625ක් පැවැති බවත් එන්ටර්ප්‍රයිස් ණය සේවාව ක්‍රියාත්මක කරමින් ජනතාවට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම සඳහා කටයුතු කළ බවත්ය. ව්‍යාපාර ආරම්භ කිරීම, ලියාපදිංචිය, සන්නාම නාමය සහ හිමිකම් ලියාපදිංචිය ආදිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ බව කී ඒ මහතා එම දින තුනක කාලයේ දී 5,175 දෙනෙකු පමණ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය ලබාගැනීම වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙන බවද කීය.
ජනතාව වෙනුවෙන් විශේෂ සේවා ක්‍රියාත්මක කරමින් ප්‍රදර්ශනය පැවති දින තුනේ දී වකුගඩු, දියවැඩියා හා දන්ත සායන පැවැත්වීම, ඉඩම් ඔප්පු නිරවුල් කිරීම, විවාද හා චිත්‍ර තරග පැවැත්වීම, සංහිඳියා වොලිබෝල් තරගයක් සංවිධාන කිරීම ආදිය ඒ අතර වූ බවද රාජ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන මෙහිදී සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ බවද සඳහන් කළේය.
ගම්පෙරළියට සමගාමීව යන වැඩසටහනක් ලෙසින් මේ ප්‍රදර්ශනයෙන් ප්‍රදේශයේ ජනතාවට රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනගැනීම පමණක් නොව දිස්ත්‍රික්කයට විශාල සංවර්ධනයක් සිදුවූ බවද පසුගිය මාස හතරක කාලයේ මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ගම්පෙරළිය යටතේ රුපියල් මිලියන 600ක මුදලක් වෙන්කර තිබෙන බවද පැවසූ මංගල සමරවීර මහතා වැල්ලවාය සහ මොණරාගල ඉදිකිරීමට යෝජිත හරිත උද්‍යාන සඳහා මුල්ගල් තැබූ බවද පැවසීය.
මේ අතර ඇමැතිවරයා පෙන්වා දුන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැසිකිළි නොමැති පවුල් 25000ක් පවතින අතර ඒ සියලු දෙනාටම අවශ්‍ය වැසිකිළි මේ වසර අවසන්වීමට පෙර ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කර තිබෙන බවත් මේ වසර අවසන් වනවිට කිසිවෙකු වැසිකිලියක් නොමැතිව ඉන්නට ඉඩක් නොමැති බවත්ය. ඊට අමතරව නිවාස 947ක් සඳහා ස්ථිර වහලක් ලබාදීමට පියවර ගන්නා බවද ඊට අමතරව වැව් අටක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පියවර ගන්නා බවද සඳහන් කළේය.