යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වශක්තියෙන් නැගි සිටිය හැකි ජාතියක් ගොඩනැගීමේ තිරසර සංවර්ධන ප‍්‍රවේශයට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ දිළිඳුකම පිටුදැකීම සඳහා කි‍්‍රයාත්මක සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ තවත් පවුල් ලක්ෂ එක හමාරකට අලුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (07) පස්වරුවේ පොළාන්නරුව රාජකීය විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ දි එක් වෙමිනි.
විවිධ හේතුන් මත මෙතෙක් සමෘද්ධි සහනාධාරය නොලැබුණු එහෙත් ඒ සඳහා සුදුසුකම් ලබා ඇති තවත් පවුල් ලක්ෂ එක හමාරකට මෙම වැඩසටහන යටතේ සමෘද්ධි ප‍්‍රතිලාභ හිමි වෙයි. සුරක්ෂිත ශ‍්‍රී ලංකාවක් – සවිමත් ප‍්‍රජාවක් වසර 2030 වන විට දිළිඳුබවින් තොරවූ ශ‍්‍රී ලංකාවත් උදෙසා සමාජ සවිබල ගැන්වීම තේමාව යටතේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අඩුආදායම්ලාභී පවුල් සඳහා මෙවන් සහනාධාරයක් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වනවා සේම සදාකාලික යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වශක්තියෙන් නැගිසිටීම ඔවුන්ගේ අධිෂ්ඨානය විය යුතු බවයි. ඒ සඳහා අත්වැල සැපයීමට රජය විවිධ ණය යෝජනා ක‍්‍රම ඇතුළු වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවා තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා යමෙකු ස්වශක්තියෙන් නැගිසිටීමට කටයුතු කිරීම තුළ ඔහු මෙන්ම රටත් දියුණුව කරා ගමන් කරන බව ද කියා සිටියේය.
රටේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අද රටේ සංවර්ධනයේ දී මූල්‍ය වශයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි. රජය ඉකුත් වසර තුන හමාරේදී දිනාගත් සුවිශේෂී ජාත්‍යන්තර සහයෝගය තුළ රටේ සංවර්ධන වැඩපිළිවෙළට අද ජාත්‍යන්තරයේ සියලුදෙනාගේ අනුග‍්‍රහය ලැබී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවට ණය ප‍්‍රදානයන් ලබාදෙන ජාත්‍යන්තර ආයතන කිහිපයක් සමග තමා පසුගියදා පැවැත්වූ සාකච්ඡාවේදී ද ඉදිරියේ දී එම සියලු සහනයන් තවදුරටත් ඉහළ නැංවීමට ඔවුන් එකගතාවය පළ කළ බව කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම රාජ්‍ය සේවයේ සියලුදෙනා ද තමන්ගේ වගකීම් සහ යුතුකම් නිසිලෙස ඉටුකරන්නේ නම් මේ රටේ දියුණුව කරා ගෙනයාමට කිසිදු අපහසුතාවයක් නොමැති බවයි.
ජනතාවගේ දුගී බව තුරන් කරමින් රට සංවර්ධනය කරා ගෙනයාමට දේශපාලන බේදයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
මෙම වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අඩුආදායම්ලාභී පවුල් 3800 කට අලුතින් සමෘද්ධි සහනාධාරය හිමිවන අතර සියලු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අන්දමින් 21 දෙනෙකු වෙත හිමිකම් පත් ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, නියෝජය අමාත්‍ය රංජන් රාමනායක, අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වීරකොන්, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් එස්.පී. අබේවර්ධන. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.


සමෘද්ධිලාභීන් සඳහා සමෘද්ධි දීමනාව ලබා දීමේ උත්සවයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කතාව
( 2018-09-07 වන දින හිඟුරක්ගොඩ )


මේ රට දුගීබවෙන් නිදහස් කරගැනීම සඳහා මීට වසර විසිතුනකට පමණ පෙර ආරම්භ කළ සමෘද්ධි ව්‍යාපාරය තවත් වැදගත් පියවරක් තබමින් මේ දිස්ති‍්‍රක්කයේ සමෘද්ධි ප‍්‍රතිලාභීන් වශයෙන් තෝරාගත් පවුල් 3000 ට වැඩි පිරිසකට ප‍්‍රතිලාභ ලබාදෙන දවසක ඔබ හමුවීම පිළිබඳව අද මා ඉතාමත් සතුටු වෙනවා.
1995 සමෘද්ධි ව්‍යාපාරය පටන් ගන්නා විට පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ ජනගහනයෙන් සියයට 52 ක් සමෘද්ධි ප‍්‍රතිලාභීන් කියලා මගේ මතකයේ තියෙනවා. ඒ අනුව අපි මෙතෙක් අවුරුදු 23 කට පසුව ආපසු හැරී බැලුවොත් අපිට සතුටු විය හැකි ද කියන කාරණාවත් තිබෙනවා. සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරය ගෙවී ගිය දශක දෙක හමාරකට ආසන්න කාලයක් මේ රටේ අඩු ආදායම්ලාභී පවුල් එයින් නිදහස් කර ගැනීම සඳහා ගෙන ගිය වැඩපිළිවල්වළ යම් සාර්ථකත්වයන් ලබා තිබෙනවා. ඒ සාර්ථකත්වයන් කොතෙක් තිබුණත් අවුරුදු 23 ගිහිල්ලාත් අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ. එදා සිටි අඩු ආදායම්ලාභීන් පිරිස සියයට දහයකට වත් අඩු කර ගන්න.
එක් එක් රටවල දුගී බවින් නිදහස් වීම සඳහා කරන, කර ඇති ව්‍යාපෘති ලෝකය පුරාම තිබෙනවා. ලෝකයේ ධනවත් රටවල්වල ජීවත් වෙන්න රස්සාවක් නැති, ආදායමක් නැති අයට වෙනම මුදලක් ලබා දෙනවා. අද ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවලත් යාචකයන් සිටිනවා. ධනවත් රටවල්වලට ගියහම බොහෝ වේලාවට ධනවත් රටවල් කියන හැම රටකම සිගමන් යදින අය සිටිනවා. අපි අපේ රට වගේම ලෝකයේ අනෙක් රටවල් පිළිබඳ සැලකිල්ලට ගත් විට මේ රටේ අඩු ආදායම්ලාභී පවුල්වලින් වැඩි පිරිසක් එයින් නිදහස් කර ගැනීම සඳහා සමෘද්ධි ව්‍යාපාරය ගන්නා ලද කි‍්‍රයාමාර්ග පිළිබඳ සතුටු විය හැකියි. 1930, 1940 දශකයේ සිට අපේ රටේ ආදායම් බදු නොගෙවන සෑම කෙනෙකුටම සහල් සාලකය නොමිලේ ලබා දුන්නා. 1978 සහල් පොත අහෝසි වුණේ. අහෝසි වෙච්ච අවසාන හාල් පොත ලියපු කෙනෙක් මම. ඉන්පසුව ජනසවිය ආරම්භ වුණා. සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වුණා. ගැමිදිරිය විදියට නම වෙනස් වුණා. පියවරෙන් පියවර අපි මේ ව්‍යාපාර ඉදිරියට ඇවිත් තියෙනවා. එහෙත් අපිට රටක් විදියට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ, දුගීබවින් නිදහස්වීමේ දී අපි සාර්ථක ප‍්‍රතිඵල ලබා තිබෙනවා ද කියන කාරණාව පිළිබඳව.
මම පෙරේදා ලංකාවට ආධාර දෙන ජාත්‍යන්තර මුල්‍යයාතන සියල්ලම කැදෙව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජිතවරිය. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, කොරියන් කොයිකා බැංකුව, ජපන් ජයිකා බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අයි.එම්.එෆ් මේ සියලූ ආයතන කැඳවලා මේ අය සමග මේ වන විට ලංකාවට ලබා දෙන ණය ආධාර සහ ඉදිරි වසරවල ලබා දෙන ණය පහසුකම් පිළිබඳව සාකච්ජා කළා. ඒ අය ඒ ණය ආධාර ලබා දෙන්නේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙනවා ද? මිනිසුන්ට නිදහස තිබෙනවා ද? මානව හිමිකම් ආරක්ෂා වෙනවා ද? මාධ්‍ය නිදහස තිබෙනවා ද ? මිනිසුන්ට නිදහසේ කතා කරන්න පුළුවන්කම තිබෙනවා ද ? මිනිසුන්ට නිදහසේ පෙළපාලි යන්න, විරෝධතා කරන්න, උද්ඝෝෂණ කරන්න නිදහස තිබෙනවා ද ? ඒ සියලු දේ තිබෙනවා නම් ඒ මුල්‍යායතන අපිට සල්ලි දෙනවා. ඒ සහතිකය අපිට ඉහලින්ම ලැබිලා තිබෙනවා.
ලෝකයේ සෑම රටක්ම අද අපිට සලකන්නේ, මම ඒ කියපු කරුණු සම්පූර්ණ කරපු රටක් විදියටයි. විශේෂයෙන්ම පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය අපෙන් ඈත් වෙලා හිටියේ. ලෝක බැංකුව මුදල් ලබා දෙන එක නවත්වලා තිබුණේ. ආසියානු සංවර්ධන බැංකුව අපිට මුදල් ලබා දෙන එක නැවතිලා තිබුණේ. ජපන් ජයිකා ආධාර නැවතිලා තිබුණේ. නමුත් මම කලින් කියපු කරුණු රට තුළ ශක්තිමත් කරලා තිබෙන නිසා අද අපිට කිසිදු අඩුවක් නැතුව ඒ ආධාර ලැබෙනවා.
මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපාරය යටතේ හැදෙන වැව් 2400 යේ එල්ලංගා පද්ධතිය සඳහා උතුරු මහ ඇළ, මිනිපේ මහ ඇළ, ඉහළ ඇළහැර මහ ඇළ, වයඹ මහ ඇළ මේ සියල්ල සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ජපානය, චිනය, කුවෙට්, සවුදි ඒ රටවල් අපිට මුදල් ලබා දෙනවා. ආධාර වශයෙන් අපිට කිසිම අඩුවක් නැහැ.
අද උදේ මම හිඟුරක්ගොඩ, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සඳහා මුල්ගල තියලා වැඩ ආරම්භ කෙරුවා. එහි විදියට වන කෝටි 700 න් කෝටි 650 ක් අපිට ලැබෙන්නේ නෙදර්ලන්තයෙන්. ඉතිරි මුදල් ශී‍්‍ර ලංකා රජයෙන්. මීට අවුරුදු දෙකකට කලින් මේ මුදල් ලැබුණේ. අපිට අද තමා වැඩ පටන් ගන්න පුළුවන් වුණේ. ඒ ආයතනය හිඟුරක්ගොඩ පැත්තට ලබා දුන්නේ. පොළොන්නරුව දිස්ති‍්‍රක්කය මම හුගක් දේවල් ලබා දීලා තිබෙනවා.
මම ගිය සුමානේ නේපාලයේ සංචාරය කළා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නේපාලයේ වැඩම කරලා තියෙනවා. ලුමිබිණිය වදින්න වැඩම කරලා තියෙනවා. නේපාලය කොතෙක් ලස්සන රටක් ද ? නමුත් දුප්පත්කම දුගීභාවය ඉහළ රටක්. ලෝකයේ ඉහළම කදු මුදුන තියෙන්නේ නේපාලයේ. ඒ සුන්දර මහා කදු වැටි එක්ක ඒ ස්වභාවික සම්පත්වලින් පිරිණු නේපාලය දුගී බවින් ඉතාම පීඩාවිඳින රටක්. ඒ හා සසැඳද්දි අපිට අපේ රට ගැන බෙහෙවින් සතුටු වෙන්න පුළුවන්.
සංවර්ධනය වෙමින් තිබෙන රටක් විදියට අද අපි ලෝකයේ ඉහළ තැනක සිටිනවා. අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ විදියට ගත් විට අද මෙතන පවුල් තුන්දාහස් ගණනක් සඳහා සමෘද්ධි ප‍්‍රතිලාභීන් විදියට තෝරා ගෙන ඒ ප‍්‍රතිලාභ ලැබෙනවා.
2016 මම ආරම්භ කළ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් හැකියාවන්, නිර්මාණශීලි, කුසලතාවයන් තිබෙන ඕනෑම කෙනෙකුට ආදායම් තත්වයන් නොසලකා ණය ආධාර ලබා දෙන්න කටයුතු කළා. 2017 රුපියල් කෝටි 100 වෙන් කෙරුවා. නමුත් අපේ නිලධාරීන් බෙදලා තිබුණේ කෝටි 5 යි. කෝටි 95 ක් ආපසු ගියා. මේ අවුරුද්දේ කෝටි 263 න් මේ නවවෙනි මාසය වෙද්දී රුපියල් කෝටි 70 ක් විතර තමයි තවම ණය ලබා ගෙන තිබෙන්නේ. තමන්ගේ දක්ෂතාවය, කැපවීම, හැකියාව තිබෙනවා නම් ඒ මුදල් ලබා ගෙන තමන්ගේ ජිවන තත්ත්වය උසස් කර ගන්න පුළුවන්.
මේ අඩු ආදායම් ලාභී පවුල්වලට ඔලුව උස්සන්න පුළුවන් විදියට හරි ණය මුදලක් අරගෙන තමන්ගේ ව්‍යාපාරයක් කරන්න පුළුවන් අවස්ථාව මේ දිස්ත‍්‍රික්කයේ තිබෙනවා. සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙණ මේ සමෘද්ධි වැඩසටහනට අමතරව ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ඒ ණය මුදල් ලබාගන්න පුළුවන්. අපි අලුතින් ආරම්භ කළ ගම්පෙරළිය වැඩසටහන යටතේ මුදල් බැංකුවලින් ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ උනන්දුව, කැපවීම තුළ ඒ වැඩ කරගන්න පුළුවන්. මමත් රස්සාවක් නැති කාලේ මොනතරම් දේවල් කළාද කියලා මම මෙහිදී කියන්න වෙලාව ගන්නේ නැහැ.
නමුත් අපි හැමකෙනෙක්ම දැනගන්න ඕනෑ ආර්ථික අමාරුකම් වලින් ගොඩ එන්න. සමෘද්ධි ප‍්‍රතිලාභීන් විදියට තෝරාගෙන සිටින අයගේ දක්ෂතාවය කියන්නේ මේවා හැමදාම ගන්න එක නෙවෙයි. මේකෙන් පුළුවන්තරම් ඉක්මනින් නිදහස් වීම තමයි ජයග‍්‍රහණය වෙන්නේ. අද ඔබ සතුටු වෙනවා ඇති ඔබ සමෘද්ධි ප‍්‍රතිලාභීන් විදියට තෝරා ගෙන අද ඔබට මේවා ලැබෙනවා කියලා. ඒ ගැන ඔබ සතුටුවෙනවා වගේම මමත් සතුටු වෙනවා අද ඔබට මේවා දෙන්න ලැබීම ගැන. නමුත් සැබෑ විදියට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ රජයෙන් යැපෙන්නේ නැතිව තම ස්වශක්තියෙන් නැගිට හැකිවන දවසට යි. අපි එතැනටයි එන්න ඕනෑ. ඇතැම් අයගේ රජයේ රැකියාවක්ම ලබා ගැනීමේ අරමුණු තිබෙනවා. රන්ජන් රාමනායක ඇමතිතුමා කිව්වා ලක්ෂ පහළොව හමාරක් රාජ්‍ය සේවයේ ඉන්නවා කියලා. රාජ්‍ය සේවය වැඩි වෙන්න වැඩි වෙන්න රටේ සංවර්ධනය පහළ යනවා. රාජ්‍ය සේවය වැඩි වෙන්න වැඩි වෙන්න රටේ සංවර්ධනයේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එය මම පැහැදිලිව නොබියව කියන්න ඕනෑ.
නමුත් රටක පුරවැසියන් විදියට කෙනෙක් තමන්ගේ ශක්තියෙන් ගොඩ නැගෙන්න උත්සාහ කරනවා නම් ඒකෙන් තමනුත් එක්ක රටත් ගොඩනැගෙනවා. ඔබ අලුත් සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල් නිසා ඔබට ලැබෙන පහසුකම් පිළිබඳව ඇමතිවරුන් දෙදෙනාගෙන් නොකියවුණු නිසා මම අද කියන්න බලාපොරොත්තු වෙනවා
නමුත් බොහෝ අය දන්නවා සමෘද්ධි ප‍්‍රතිලාභීන් විදියට තෝරාගත් පවුල් වලට තිබෙන විශේෂ පහසුකම් මොනවාද කියලා. මේ පවුලක දරුවෙක් ඉපදුනාම ඒ වෙනුවෙන් රුපියල් 7500 ක් දෙනවා. පවුලේ මරණයක් සිදුවුණාම රුපියල් 15000 ක් දෙනවා. රෝහල් ගතවීමක දී ප‍්‍රතිලාභයක් ලෙස දිනකට රුපියල් 250 ක් ලැබෙනවා. වසර තුළ දින 30 ක් වෙනුවෙන් ලැබෙන උපරිම මුදල් රුපියල් 7500 ක් දෙනවා. මේ පවුල් වල දරුවන්ට උසස් පෙළ අධ්‍යාපනය සඳහා මාසයකට රුපියල් 1500 බැගින් මාස 24 ක් සඳහා සිප්දොර ශිෂ්‍යත්වය ලැබෙනවා. ඒ වගේම ණය යෝජනා ක‍්‍රම රාශියක් තිබෙනවා. ජීවනෝපාය සංවර්ධන ණය ඔබට ගන්න පුළුවන්. කෘෂිකර්ම වගා ණය ගන්න පුළුවන්. නිවාස ණය, පරිභෝගික ණය, ආපදා ණය, හදිසි ව්‍යාපාරික ණය, සමෘද්ධි අරුණළු ණය, යොවුන් දිරිය ණය ආදිය ඔබට හිමිවෙනවා. තවත් දෙන්න දේවල් තියෙනවාද කියලා තමයි ප‍්‍රශ්නේ.
මම මීට මාස තුනට පෙර ඉන්දියාවේ තිබුණු ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වුණා. එයට රටවල් 42 ක් එක්ව සිටියා. අපේ රටේ නිදහස් අධ්‍යපනය කියන්නේ පළවෙනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලයෙන් එළියට එනකම්ම නොමිළයේ සියලු දේවල් දෙනවා. පුංචි සෙම් අමාරුව ඉඳලා බරපතළ හෘදයාබාධ දක්වා බෙහෙත් කරලා අවශ්‍ය නම් ශල්‍යකර්ම කරලා රෝහලෙන් එළියට එන්න පුළුවන්. ඒ සියලු දේවල් නොමිළේ. ලෝකයේ කිසිම රටක එම පහසුකම නැහැ. මම ගිය සතියේ නේපාලයේ සංචාරයක නිරත වුණා. එහිදි රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේ දී මගේ වම් පස සිටියේ නේපාලයේ ජනාධිපතිනියගේ දියණිය. ඇය තරුණ දරුවෙක්. දෛ්‍යවරියක්. ඇය මගෙන් ඇහුවා මම සෞඛ්‍ය ඇමති විදියට වසර 05 ක් ලංකාවේ වැඩ කරලා තියෙනවා නේද කියලා. මම ඔව් කිව්වා. ඒ වෙලාවේ ඇය කිව්වා ඔබතුමා ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියා නම් මට හිතාගන්න පුළුවන් ඔබතුමාට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයක් ඇති. ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාවන් ඇති රටවල්වලින් එකක් තමයි ශ‍්‍රී ලංකාව, මම කැමතියි ලංකාවට ඇවිත් ඒ පිළිබඳ ඉගෙන ගන්න කියලාත් ඇය පැවසුවා.. මම කිව්වා එන්න, මම අවශ්‍ය පහසුකම් සපයන්නම් කියලා. මගෙන් ඇහුවා කොහොමද ලංකාවේ අධ්‍යාපනයට දෙන පහසුකම් කියලා. මම කිව්වා පළවෙනි ශ්‍රේණියේ සිට වෛද්‍යවරයෙක් නම් එම්බීබීඑස් අරගෙන වසර 05 කින් එළියට එනකම් ඔක්කොම නොමිළේ කියලා. ඕනෑම අසනීපයක් හැදුණාම රජයේ රෝහළෙන් මාස 05 ක් ගියත් නොමිලයේ බෙහෙත් සහ ශල්‍යකර්ම කියලා. මේ සමෘද්ධි ව්‍යාපාරය ගැන කිව්වා. පොහොර සහනාධාර ගැන කිව්වා. ඇය මගෙන් ඇහුවා සියලු දේ නොමිළේ ලබා දී කොහොමද මේ රට ගෙනියන්නේ කියලා. ලෝකයේ කිසිම රටක මෙහෙම දෙන්නේ නෑ. ලෝකයේ ඇතැම් රටවල්වල නිදහස් අධ්‍යාපනය කියන්නේ පහ වසර තෙක් නොමිළේ අධ්‍යාපනය ලබා දෙන එක විතරයි. සමහර රටවල්වල අටේ පංතියට වෙනකම් නොමිළේ. සමහර ධනවත් රටවල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ එනකම් නොමිළයේ අධ්‍යාපන දෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සියලු දේ නොමිළේ දෙන ලෝකයේ රටවල් 10 ක් වත් නැහැ. මේ රටේ මේ නොමිලේ දෙන දේවල්, මේ වරප‍්‍රසාද පහසුකම් එක්ක මේ රට ගොඩගන්න අපි එක වගේ මහන්සි වෙන්න ඕනෑ.
රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොව හමාර නම් අඩු වශයෙන් දවසේ පැය ගාන හරියට වැඩ කරනවා නම්, දේශපාලන ක්ෂේත‍්‍රයේ යම් කිසි පිරිසක් ඉන්නවා නම් හොරකම්, දූෂණ, වංචා කරන්නේ නැතිව අවංකව වැඩ කරනවා නම්, බිලියන 21 ක් වන මේ රටේ පුරවැසියන් හැම කෙනෙක්ම තමාගේ යුතුකම් හා වගකීම් ඉටුුකරනවා නම් නම් මේ රට දියුණු කරන්න අපහසු නැහැ.
රන්ජන් රාමනායක ඇමතිතුමා සඳහන් කළ විදියට දේශපාලන පක්ෂ භේදයකින් තොරව වැඩ කළ යුතුයි. ආණ්ඩුවක් කියන්නේ පක්ෂග‍්‍රාහී වීම නෙවෙයි. රජයේ නිලධාරීන් කියන්නේ පක්ෂග‍්‍රාහී වීම නෙවෙයි. අවංකව, අපක්ෂපාතීව, කැපවීමෙන් වැඩකළ යුතුයි. තෝරාගත යුත්තේ සුදුස්සායි. ඒ ප‍්‍රතිපත්තිය තුළයි අප වැඩ කළ යුත්තේ. අවසාන වශයෙන් මේ 3000 සේ පිරිසගෙන් මම ඉල්ලන්නේ, ඔබ මේ දීමනාවෙන් නිදහස් වී තමන් විසින්ම නැගිටින දිනය ලඟා කරගැනීමට උත්සාහ කරන්න.
මේ සියලු වැඩ කටයුතු සාර්ථක කරන්න සහය දුන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා.
ස්තූතියි!