“ආසියාන්” ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනොයි නුවර දී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ ආරම්භ කෙරිණි.


හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරුණු “ආසියාන්” ලෝක ආර්ථික සමුළුව සඳහා ආසියාන් සංවිධානය නියෝජනය කරන රටවල නායකයෝ දස දෙනෙක් සහභාගි වූහ. සමුළුවේ විශේෂ ආරාධිතයා වූයේ චීන උප අග්‍රාමාත්‍ය හූ චුන්හ්වා මහතාය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ විශේෂ ආරාධිතයකු වශයෙනි.
වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා සමුළුව ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතාගේ සුබ පැතුම් පණිවුඩය සමුළුවට ඉදිරිපත් කරනු ලැබීය. ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරන සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන් මහතා සමුළුවේ ආරම්භක සැසිය අමතමින් සඳහන් කළේ කලාපයක් ලෙස පොදු එකඟතා පදනම්කර ගනිමින් සිවුවන කාර්මික විප්ලවයේ ප්‍රතිලාභ බෙදා හදා ගත යුතු බවය.
ඉන් අනතුරුව “ආසියාන්” ලෝක ආර්ථික සමුළුවේ සාමාජිකත්වය දරන රටවල නායකයෝ සමුළුව ඇමතූහ.
ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ පැවසූයේ මිනිස් සම්පත සතු කුසලතා අසීමිත බවය. ඒ කුසලතා පුබුදුවමින් අනාගතය ජය ගැනීමට ක්‍රියා කරලීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
මියන්මාර් රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිත අවුන්සාන් සුකී මහත්මියගේ දේශනයට ආසියා කලාපයේ සියලූම නායකයන්ගේ සුවිශේෂී අවධානයක් යොමු වූ අතර ආසියා කලාපයේ පසුපස තැනක සිටි මියන්මාරයට මෑත කාලයේ දී ධනාත්මක ප්‍රවණතා පෙන්වමින් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙන බව ඇය සමුළුව අමතමින් සඳහන් කළාය.
කලාපීය සංවර්ධනයේ දී එක් රටක පසුබෑම සියලුම රටවල් කෙරෙහි බලපෑමක් ඇති කරන නිසා සියලූ රටවල් සමාන අයුරින් දියුණුව කරා පිය නැගීමේ අවශ්‍යතාවය ද අවුන්සාන් සුකී මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
මියන්මාරය ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් කරා ප්‍රවේශ වෙමින් සිටින බව ද අවුන්සාන් සුකී මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ , කාම්බෝජයේ අග්‍රාමාත්‍ය හුන් සෙන් , ලාඕසයේ අග්‍රාමාත්‍ය තොංල්යුන් සිස්යුරලිත් , තායිලන්තයේ උප අග්‍රාමාත්‍ය ප්රේජින් ජුන්තොං සහ ලෝක ආර්ථික සමුළුවේ විධායක සභාපති මහාචාර්ය ක්ලවුස් ෂ්වැබ් යන මහත්වරු ද සමුළුව අමතමින් අදහස් දැක්වූහ.