එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ සලසනු ලබන ණය සහන පහසුකම් පුළුල් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.


පෙරේදා (2) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මේ යෝජනාවත් ඇතුළුව යෝජනා 05කට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවිණි. ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සහන ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභ, දැනට තාක්ෂණික ක්ෂේත්‍රයේ නිරතව සිටින, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5,6 හා 7 මට්ටම් සපුරා ඇති වෘත්තිකයන්, සුළු පරිමාණ සත්ත්ව පාලන අංශවල යෙදෙන්නන්, දිරාපත්වන ද්‍රව්‍ය භාවිත කරමින් විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ආයෝජන අපේක්ෂා කරන්නන්හට ද ලබාගැනීමට හැකි වන පරිදි මෙම ණය සහන ව්‍යාප්ත කිරීම එසේ අනුමැතිය හිමිවූ යෝජනාවකි.
‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන’ යටතේ නිෂ්පාදන සැලසුම් නිර්මාණ ඉංජිනේරු සමාගම් සඳහා සහන ණය යටතේයාන්ත්‍ර-ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් සවිබල ගැන්වෙන ආර්ථික සංවර්ධන මූලාරම්භයන් සිදු කරනු ලබන සමාගම් සඳහා සහන සැලසිය හැකි වන පරිදි නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ලෝක බැංකු සමූහයේ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය සඳහා වන අන්තර්ජාතික බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ආයතනයන්හි සාමාන්‍ය හා වරණීය ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය පළ කිරීමට ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවිණී.
ඒ අනුව එම ආයතනය යටතේ පිහිටා ඇති ආයතනවල සාමාන්‍ය ප්‍රාග්ධනය සහ වරණීය ප්‍රාග්ධන ඉහළ නැංවීම සහ ඒවායේ රඳවා තබාගත් ආදායම කොටස් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය පළ කිරීම සහ අවශ්‍ය ගෙවීම් සිදුකෙරෙනු ඇත..
මේ අතර මාතර දිස්ත්‍රික්කයේ, විශේෂයෙන් ප්‍රධාන නගරවලින් බැහැරව පවතින ප්‍රදේශවල සිදු කළ යුතු යැයි හඳුනාගෙන තිබෙන අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, වාරිමාර්ග, පොදු පහසුකම් යනාදී යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා 2018 - 2020 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නිල්වලා එළිය ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම පිණිසත්, දැන‍ට වැඩිදියුණු කළ මුදල් පදනම මත සකස් කරනු ලබන රජයේ ගිණුම්, එම ක්‍රමය වෙනුවට, අදියරගත ක්‍රමවේදයක් යටතේ ක්‍රමිකව උපචිත පදනමට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අන්තර්ජාතිකව පිළිගත් ගිණුම්කරණ ක්‍රමවේදයන්ට අනුගතවන පරිදි ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රකාශ උපචිත පදනම මත පිළියෙළ කිරීම ටත් ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.