මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී පැවැත්වෙන Ayur Ex Kandy 2018 අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (06) එක් විය.



ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද දින ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

පාරම්පරික වෛද්‍ය දැනුම ලොවට ගෙන යාමේ අරමුණින් මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආයුර්වේද දෙපාර්තමේන්තුව හා මධ්‍යම පළාත් සභාව එක්ව වසර දෙකකට වරක් සංවිධානය කරන ප්‍රදර්ශනය මෙවර පැවැත්වුනේ 04 වන වරට ය. ප්‍රදර්ශනය තෙදිනක් පුරා පැවැත්වෙයි.

අද දින ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරික්ෂණය කළ අතර කාර්යමණ්ඩලය සමග ද සුහද කතා බහක නිරත විය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුන් ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය ගීත ක්‍රිෂ්ණන් මහතා ඇතුළු දෙස් විදෙස් විද්වත් පිරිසක් ද පළාත් පාලන ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේසුන්දර මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.