ද්විපාර්ශ්වීය නායකයෝ අවධාරණය කරති
ලෝකයේ නව ප්රවණතාවන් හා සැසඳෙන පරිදි, ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර සබඳතා නව මානයකට ගෙන ඒමේ වැදගත්කම ද්විපාර්ශ්වීය නායකයෝ අවධාරණය කළහ.
05 වැනි දා දහවල් නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms. Erna Solberg) මහත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ ශාලාවේ පැවති සාකච්ඡාවේ දී දේශපාලනික, පාරිසරික හා ආර්ථික වශයෙන් සාගර හා සාගර සම්පත් කළමණාකරණය කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
සාගරය මුළු මහත් ලෝකයාගේ ම උරුමයක් බැවින්, සාගරය ආරක්ෂා කරලීමේ හා සාගර සාමය සුරැකීමේ පොදු ජගත් වැඩපිළිවෙළක් සැකසීමේ කාලීන අවශ්‍යතාව සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සාගර සම්පත් සුරැකීම හා වර්ධනය කරලීම සඳහා යොදා ගත හැකි තාක්ෂණික ක්‍රමවේදයන් හා නව දැනුම ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සූදානම් බව මෙහිදී නෝර්වේ අගමැතිනිය සඳහන් කළාය.
සාගරය මෙන්ම ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයන් හා අගයයන් ද දෙරටට ම පොදු බව මෙහිදී අවධාරණය කෙරිණි.
ලොව පුරා සාමය, ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දෙරට ම ද්විපාර්ශ්වික ගිවිසුම් හා එකඟතා ගණනාවකට එළැඹි ඇති බව ද, ඒවා ආරක්ෂා කරලීම උදෙසා දෙරට ම කැපවන බව ද ප්‍රකාශ කෙරිණි.
කලාපීය හා ලෝක දේශපාලන ප්රවණතා සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනිණි.
ආක්ටික් සාගර කලාපය සාමකාමී, නවෝත්පාදන හා තිරසර සංවර්ධන කලාපයක් බවට පත් කිරීමේ නෝර්වේ අභිලාෂය සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහය ලබා දෙන බවට වික්‍රමසිංහ මහතා මෙහිදී සහතික විය.
ඉන්දීය සාගර කලාපය සාමකාමී හා තිරසර සංවර්ධන කලාපයක් බවට පත් කරලීමේ ශ්‍රී ලංකා ප්රයත්නයට ද ඒ අයුරින් ම සහය ලබා දෙන බව සොල්බර්ග් මහත්මිය පැවසුවාය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී, හේෂා විතානගේ සහ කාවින්ද ජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය අරූෂා කුරේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මේ අවස්ථාවට එක් වූහ.