සීෂෙල්ස් රාජ්‍යය සහ ශ‍්‍රී ලංකාව අතර නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ඇතිකර ගැනීමේ අරමුණින් එරට දෙදින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද (10) උදෑසන යළි දිවයිනට පැමිණියේ ය.

සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිතුමා සීෂෙල්ස් රාජ්‍ය සංචාරය ආරම්භ කළේ පසුගිය 08 වැනිදා යි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆෝ මහතා අතර නිල හමුව එදින ම පස්වරුවේ පැවැත්වුණු අතර ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙන්ම නව ආර්ථික සහ වෙළෙඳ සබඳතා ඇතිකර ගැනීම පිළිබඳව ද එහිදී නායකයෝ වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹුණහ.
දෙරට අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයට සහ වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයට අදාළ නව අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීම ද රාජ්‍ය නායකයන් ඉදිරියේ සිදු විය.
මෙම සංචාරයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත එරට රජයේ ඉහළම ගෞරවය පළ කරමින් පිළිගැනීමට සීෂෙල්ස් ජනාධිපතිවරයා කටයුතු කළ අතර එරට රාජ්‍ය මන්දිරයේ දී ජනාධිපතිතුමා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස වෙනුවෙන් විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් ද පැවැත්විණි. එහි දී නායකයන් සපථ කළේ මිත‍්‍රත්වයෙන් ඔබ්බට ගිය සහෝදර බැඳීමක් සමග දෙරටේම සමෘද්ධිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට යි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස් උප ජනාධිපති (Vincent Meriton) මහතා අතර හමුවක් ද මෙම සංචාරය අතරතුර දී සිදු වූ අතර සීෂෙල්ස් ජාතික රෝහලේ, සීෂෙල්ස් සමුද්‍රිය අධ්‍යාපන ආයතනයේ ද නිරික්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිතුමා සිය රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් සීෂෙල්ස් හි ප‍්‍රධාන අගනගරය වූ වික්ටෝරියා නගරයේ පිහිටි ජාතික උද්භිද උද්‍යානයේ බීජයක් ද රෝපණය කළේ ය.
මේ අතර සීෂෙල්ස්හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් සමග හමුවකට ද ජනාධිපතිතුමා එක් විය.
සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය මඟින් ක‍්‍රමික සංවර්ධනයක් ළඟා කරගෙන ඇති සීෂෙල්ස් රාජ්‍යය අපි‍්‍රකානු කලාපයේ ඉහළම සංවර්ධනයක් සහිත රටකි. එහි ජනගහහණය ලක්ෂයකට අඩු ප‍්‍රමාණයක් වුවත් එරටට පැමිණෙන සංචාරකයන් ජනගහනයට වඩා කිහිප ගුණයකින් වැඩිවීම හේතුවෙන් සීෂෙල්ස් රාජ්‍ය සමග ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරිමෙන් ශ‍්‍රී ලංකාවට වැඩි වාසියක් අත්කර ගැනිමේ හැකියාව පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.
එමෙන්ම ශ‍්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවය සඳහා සීෂෙල්ස්හි ඉහළ ඉල්ලුමක් පවතින අතර සෞඛ්‍ය, අධ්‍යාපන, සංචාරක, ධීවර සහ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම මඟින් ශ‍්‍රී ලංකාවට නව ප‍්‍රතිලාභ රැසක් අත් කර ගැනීමට ජනාධිපතිතුමාගේ මෙම සංචාරය ඉවහල් වනු ඇත.
සීෂෙල්ස් රාජ්‍යයේ භූමි ප‍්‍රමාණයෙන් අඩක්ම රක්ෂිත වන අතර විශාල ජෛව විවිධත්වයක් සහිත රාජ්‍යයක් වන සීෂෙල්ස් පරිසරය සුරැකීම වෙනුවෙන් ලෝකයට ආදර්ශයක් ලබාදෙමින් සිටි. පරිසර සංරක්ෂණය සහ නිල් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ දෙරටේම අරමුණු එක්ව ජය ගැනීමට නව සහයෝගීතාවක් ජනාධිපතිතුමාගේ මෙම සංචාරය සමඟ උදා වනු ඇත.
මේ අතර දෙදින සීෂෙල්ස් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කළ ශ‍්‍රී ලංකා ජනපතිට ගෞරවනීය සමුදීමක් වෙනුවෙන් සීෂෙල්ස් රජය කටයුතු කර තිබූ අතර අද අලුයම සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ‍්‍රී ලංකාව බලා පිටත්වූ ජනාධිපතිතුමාට සමුදීම වෙනුවෙන් එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන මැක්සුසී මොන්ඩන් (Macsuzy Mondon) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.