ජපානයේ දී 2020 වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ දූත පිරිස වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට ජපානයේ සීබා ප්‍රාන්තයේ සම්මු නගර සභාව ඉදිරිපත්ව සිටි.


ඊට සහභාගිවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට අවශ්‍ය මූලික පහසුකම් සැපයීමට මෙන්ම ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා වෙනම ක්‍රීඩාංගණයක් සකස් කිරීමට ද පියවර ගෙන තිබේ. එමෙන්ම ජපාන ජනතාව අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබද අවබෝධයක් ලබාදීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක ය. මෙම අනුග්‍රහය පිළිබඳ ගිවිසුමකට ද ක්‍රීඩා අමාත්‍යාංශය සහ සම්මු නගර සභාව අතර අත්සත් තබා තිබේ.

පසුගියදා (23) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ සම්මු නගර සභාවේ නගරාධිපති Matsushita Hiroaki මහතා ඇතුළු නියෝජිතයින් මෙම අනුග්‍රහය පිළිබඳ නිල වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළේ ය.

ශ්‍රී ජයවර්ධනපුර සංඝනායක, ඇතුල්කෝට්ටේ මහින්දාරාමාධිපති, ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහ ලේකම් පූජ්‍ය මීගහවත්තේ චන්ද්‍රසිරි නායක හිමිපාණන් වහන්සේ සහ දකුණු පළාත් ප්‍රධාන සංඝානයක ඇල්පිටිය විහාරමහා දේවි පරිවේණාධිපති ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය වැලිපිටියේ සීවලි නායක ස්වාමින් වහන්සේ ද ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.