වසර 27කට වැඩි කාලයක් පැවති යුද්ධය නිසා රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට කළගුණ සැලකීම අපගේ යුතුකම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මිය ගිය රණවිරුවන් සේම ආබාධිත හා රෝගී තත්වයට පත් වූ විරුවන් විශාල පිරිසක් අප අතර සිටින බවත් ජල ගැලීම් , නියඟ වැනි සෑම ස්වභාවික උවදුරක් හමුවේ ම කඩිනම්ව සිය යුතුකම් ඉටු කරමින් ඉතා විශිෂ්ඨ සේවයක් සිදු කරන අපගේ හමුදාව විනයගරුක හමුදාවක් බවත් යුද්ධයේදී ලද අත්දැක‍්ම් සමඟ ඔවුන්ට ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති බව ද ජනපති කියයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගිය (08) පෙරවරුවේ බත්තරමුල්ලේ ඉදි කළ නව යුධ හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මුලස්ථාන එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් යුතුව ස්ථාපිත කළ මෙම යුධ හමුදා මුලස්ථානය පැලවත්ත, අකුරේගොඩ අක්කර 77 ක පමණ වපසරියකින් යුක්ත භූමි භාගයකින් සමන්විතයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ත්‍රිවිධ හමුදාව විශාල සේවයක් ඉටු කරන බවත්''පිබිදෙමු පොළොන්න'' වැඩසටහනේ ඉදි කිරීම් කටයුතු සඳහා ද ත්‍රිවිධ හමුදාව විශාල සහයක් ලබා දුන් බවත් පැවසූ ජනාධිපතිවරයා මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු සඳහා ද ත්‍රිවිධ හමුදාවේ විශාල දායකත්වයක් ලැබුණ බව සඳහන් කළේය. ත්‍රිවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුධ හමුදා මූලස්ථානයේ වැඩ කටයුතු අවසන් කිරීමට වසර 08ක් වැනි දීර්ඝ කාලයක් ගත වූ බව ද ගුවන් සහ නාවුක හමුදා ගොඩනැගිලි හැකි ඉක්මනින් ඉදිරි වසර 02ක තුළ ඉදිකිරීම් අවසන් කරන බව ද ඒ ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කරනු ඇත. යුධ හමුදා මූලස්ථානයේ විවිධ අංශ සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැඟිලි සඳහා මාසිකව වැය කෙරෙන රුපියල් මිලියන 50 කට අධික මුදල ඉතිරි කර ගැනීමට ද මෙමඟින් හැකියාව ලැබෙනු ඇත.

මෙහිදී අදහස් දැක් වූ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මෙය ශ්‍රී ලංකා ආරක්ෂක සේවයේ නව සන්ධිස්ථානයක් බවත් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ආරක්ෂක සේවාවක් මෙමගින් සැපයීමට හැකි වන බවයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් මුද්දරයක් පිළිගැන් වූ අතර මෙහි දී ජනාධිපතිවරයා අතින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීස් නිලධාරීන්ට සේවාභිමානි සහ සේවා පදක්කම් පිරිනැමීම සිදුවිය.

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක වේ.

2011 වසරේ මාර්තු මස දී මේ සඳහා මුල්ගල තබන ලදී. මීට ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මකය.අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන්ද මෙම සංකීර්ණය සමන්විතය.

ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන , ජනාධිපති ලේකම් , ආරක්ෂක ලේකම්, යුධ , ගුවන්, නාවික ත්‍රිවිධ හමුදාපතිවරු

විශ්‍රාමික යුධ හමුදාපතිවරු අතුළු යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.