මහා ශිව රාත්‍රී දින පණිවිඩය- මහා ශිව රාත්‍රී දිනයට මාගේ හද පිරි සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි

ලොව පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන් උදෙසා ආගමික වතාවත්වල නියැළෙමින් සමරනු ලබන මහා ශිව රාත්‍රී දිනයට මාගේ හද පිරි සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි. හින්දු ජන සමාජය තුළ පූජණීයම දිනයක් වන මෙය ඔවුහූ අති උත්කර්ෂවත් ලෙස සමරති. ශ්‍රද්ධාව සහ භක්තිය පෙරටු කොටගෙන ශිව දෙවියන් උදෙසා රැය පුරා නිදිවර්ජිතව, නිරාහාරව පුද පූජා පවත්වා එමඟින් ලැබෙන ආශිර්වාදයෙන් හින්දු බැතිමත්හූ සිය ජීවිතය ආලෝකමත් කර ගනිති. ශ්‍රී ලංකාව සාමකාමී නමුත් සංකීර්ණ ජන සමාජයකට උරුමකම් කියයි. එම නිසා තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනයේ ප්‍රධාන භූමිකාවක් ලෙස අර්ථ දැක්විය හැක. ජාති භේද, ආගම් භේද පසෙකලා සියලු ශ්‍රී ලාංකිකයන් එකිනෙකා හට අනෝන්‍ය ගෞරවයෙන් හා විශ්වාසයෙන් කටයුතු කළ යුතුය. ගෞරවාන්විත සම්ප්‍රදායකට උරුමකම් කියන හින්දු දර්ශනය සහ එහි උත්සවාංග ශ්‍රී ලාංකික ජන සමාජය එකට එකමුතු කරමින් ශ්‍රී ලාංකික සංස්කෘතිය විචිත්‍රවත් කිරීමට සමත් වී ඇත.

උසස් ආගම් සහ සංස්කෘතින්ගෙන් සංකලනය වූ, ඉවසීම සහ සාමය අගයන අභිමානවත් ජාතියක් සේ අප ආරක්ෂා කොටගත් සාමය තවදුරටත් වැඩි දියුණු වේ යැයි මම විශ්වාස කරමි. මේ උතුම් වූ ශිව රාත්‍රී දිනය සමරන සියලුම හින්දු බැතිමතුන් හට සාමය සෞභාග්‍ය පිරි ආලෝකමත් ජීවිතයක් උදාවේවා යැයි මම හෘදයාංගමව ප්‍රාර්ථනා කරමි. එමෙන්ම අපි සියලු දෙනා, ජාතින් අතර මිතුදම් ශක්තිමත් වන ගුණදම් පිරි යුගයක් ප්‍රාර්ථනා කරමු!

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය