ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජනීය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේ ස්වකීය උතුම් පැවිදි ජීවිතය කරුණා පෙරදැරිව ජනතා සුබ සෙතට කැප කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජනීය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරයි. එම ශෝක පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජනීය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේ අපවත්වීම පිළිබඳ පුවතින් මම ඉමහත් සංවේගයට පත්වීමි. උන්වහන්සේ අපවත්වීම රටවාසී ලෝවාසී බොදුනු ජනතාවට ද බලවත් ශෝකය දනවන්නකි.

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ දේශනාව අර්ථවත් කළ මහා සංඝ පීතෘවරයෙකි. උන්වහන්සේ ස්වකීය උතුම් පැවිදි ජීවිතය කරුණා පෙරදැරිව ජනතා සුබ සෙතට කැප කළහ. ගුණ ගරුක සමාජයක් දකිනු වස් ගම් දනව්වල වැඩම කරමින් දහම් චාරිකාවේ නියැළුණු අප නාහිමිපාණන් වහන්සේ හුදී දනන්ගේ ආධ්‍යාත්මික සුවය සැලසූ අතර, ඔවුන්ගේ සාමාජයීය ගැටලු හඳුනා ගෙන ඊට ද පිළියම් සෙවීමට කැප වූහ.

 
 

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් අප මහානායක ස්වාමීන් වහන්සේ කළ අපරිමිත කැප කිරීම දෙස් විදෙස්හි ගෞරවාදරයට සහ සම්මානයට පාත්‍ර විය. ලෝකයේ කීර්තිධර මහ තෙරුන් වහන්සේට බුරුම රජය පිරිනමන ”අග්ගමහා පණ්ඩිත” ගෞරව සම්මානයෙන් ද අප නාහිමිපාණන් වහන්සේ පිදුම් ලැබූහ. ඒ සියල්ල මෙත් සිතින් දරා ගත් අප නාහිමිපාණන් වහන්සේ අල්පේච්ඡ ජීවිතයම අර්ථවත් කළහ.

ආගමික හා ශාසනික වශයෙන් වූ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේගේ සමීප ඇසුරින් ලැබූ අනුශාසනා ඉවහල් වූ බව මේ මොහොතේ සිහිපත් කරන්නේ කෘතවේදීවය.

රට ජාතිය ආගම වෙනුවෙන් මහඟු මෙහෙයක් කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි.