ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උන්නතිය වෙනුවෙන් තමා කැප වන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අද රාජකාරි ආරම්භ කරමින් සංස්ථා කුමාරතුංග මැදිරියේ කාර්ය මණ්ඩලය අමතා ඔහු මේ බව කීවේය. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ඉල්ලීමට අනුව නැවත වරක් තමා මෙම ධුරයේ වැඩ භාර ගැනීමට කැමැත්ත පළ කළ බව සභාපතිවරයා පැවසීය.
සංස්ථාවේ දියුණුව මගින් සේවකයන්ට වැඩි ප්රතිලාභ අත්කරදීම තවත් අරමුණකි. එමෙන්ම විකාශන කටයුතු තවත් පුළුල් කොට ජනතාවට හොඳ ශ්‍රවණ තත්ත්වයක් ලබාදීමට ද අපේක්ෂා කෙරේ. විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණය උපරිම අන්දමින් යොදා ගැනීම අපේක්ෂාව බවද ඔහු පැවසීය.
මෙම අවස්ථාවට අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ,
හඩ්සන් සමරසිංහ මහතා මීට පෙර කිහිප වතාවක්ම සංස්ථා සභාපති ධුරයේ කටයුතු කළේය. සංස්ථා අධ්යක්ෂ ජනරාල් ධුරය ඇතුළු තවත් තනතුරු රැසක් ඔහු දරා තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නව මගකට ගෙනයාමේ භාරධුර කාර්යභාරයක් ඉටුකළ හඩ්සන් සමරසිංහ මහතා වැටි තිබු ගුවන් විදුලිය අවස්ථා ගණනාවකදී ශක්තිමත්ව යලි ගොඩනැංවීමට දායකත්වය දැක්වීය.