ලෝකයේ නව ප්‍රවණතාවන්ට මුහුණ දෙමින්  රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා  රාජ්‍ය  හා පෞද්ගලික හවුල් ව්‍යාපාර  සඳහා යාම වඩාත් වැදගත් බව ජනමාධ්‍ය  අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල   මහතා පවසයි.

වත්මන් රජය කිසිසේත්  රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකරන බවද  එහෙත් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා  සෞභාග්‍යයේ දැක්ම තුළ ඉඩක්  පවතින බව ඒ මහතා කීය.

 

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ  කතරගම නිවාඩු නිකේතනය නවීන පහසුකම්වලින් සමන්විතව නවීකරණය කර ඒ සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වා දීමේ අවස්ථාවේදී  අමාත්‍යවරයා මේ බව පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී  මෙය පැවැත්විණි.

 

කාමර 30 කින් සමන්විත  මෙම  නිවාඩු නිකේතනයෙහි අති සුඛෝපභෝගී  කාමර 12 ක්ද  ඇතුළත්ය. අමාත්‍යවරයා අතින් නව වෙබ් අඩවිය  එළිදැක්විණිWWW.Lake house Rest.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන්   මෙම නිවාඩු නිකේතනය පිළිබඳ තොරතුරු ලබාගත හැක.

 

ලොව නව ප්‍රවණතාව  රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්  තනිව නැගී නොසිට  එක් එක් ක්ෂේත්‍ර  ජාලයක්  ලෙසින් නැගී සිටීම බවත් ඒ තුළ බොහෝ  රටවල්  වඩාත් ශක්තිමත්ව නැගී සිටින බවත්  අමාත්‍යවරයා මෙහිදී කීය.

 

මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතන සතුව ඉතා වටිනා සම්පත් ප්‍රමාණයක් පවතින බවත් ඉලක්කගත මූලික වැඩපිළිවෙළ  ඒ ඔස්සේ සාර්ථක කර ගන්නා අතරම  බාහිර අනෙකුත් ක්ෂේත්‍රද ජය ගත හැකි බවත්  හෙතෙම පෙන්වා දුන්නේය. පවතින ව්‍යසනය හමුවේ පසුගියදා  සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ  මිලියන 400 ක් වන එක් දිනක් තුළ ලැබූ වැඩිම ආදායම තැපැල් දෙපාර්තමේන්තුව ලැබූ බවත් ඒ මහතා කීය. 







පවතින තත්වය හේතුවෙන්  රෝගීන්ට සායන කරා යාමට නොහැකි  බැවින්  කුරිය සේවාව හරහා  නිවසටම  ඖෂධ පැකට්   ලබාදීමට මේ වෙනවිට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයිද  ආරම්භයේදී නොමිලේ සැපයූ එම සේවාව  මේ වෙනවිට  ඉතා සාධාරණ අයකිරීමක් යටතේ සිදුවන බවද  අමාත්‍යවරයා කීය.

 

ලේක්හවුස් ආයතනය  මෙරට කීර්තිමත් ආයතනයක් බවද  පවතින ගෝලීය පීඩනය හමුවේ  ක්ෂේත්‍ර රාමුවෙන් පිටට ගොස් ආයතනය ගොඩනැන්වීම සඳහා සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය  ප්‍රමුඛ  සෑම දෙනා  සිදුකරන කැප කිරීම අගය කරන බවද  රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීය.

 

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමණකාර අධ්‍යක්ෂ  ජනාධිපති නීතිඥ  ඩබ්ලිව්. දයාරත්න, නීති හා පරිපාලන අධ්‍යක්ෂ  නීතිඥ රඛිත අබේගුණවර්ධන , කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්, මුල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මෙහෙයුම් අධ්‍යක්ෂ  නීතිඥ කණිෂ්ක විතාරණ  යන මහත්වරුන්  ඇතුළු එහි ඉහළ  කළමනාකාරීත්වයේ පිරිසක් මේ සදහා එක්ව සිටියහ.