නව ඔම්ක්‍රෝන් කොරෝනා ප්‍රභේදය දිවයිනට ඇතුලුවීම පාලනය කිරීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. කොවිඩ් කුමන ප්‍රභේදය පැමිණියද ඊට සාර්ථකව මුහුණදීම සදහා අවශ්‍ය වන්නේ සෞඛ්‍ය ආරක්‍ෂික ක්‍රමවේදවලට අනුව ජනතාවගේ හැසිරීම පවත්වා ගැනීම පමණි. ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය අවම කරගත හැක්කේ ජනතාවට පමණි. ජාන විශ්ලේෂණයකින් පමණක් නව කොවිඩ් ප්‍රභේදය හදුනාගත හැකිය.

පුර්ණ එන්නත්කරණයට ලක්වීමෙන් අලුත් කොවිඩ් ප්‍රභේදවලට සාර්ථකව මුහුණදිය හැකි බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ හැසිරීම සම්බන්ධයෙන් නිර්වචනය කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැත. ඉදිරි සති කිහිපය තුළ ලොවපුරා මතුවන තත්ත්වය සමග නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් තහවුරු කරගත හැකි බව විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සදහන් කරයි. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල හොඳ මට්ටමක පවතී. මේ සඳහා අමතර මාත්‍රාද නිර්දේශ කර ඇත. එන්නත්කරණ වැඩපිළීවෙල සාර්ථකව සිදුකර නොමැති රටවල නව ප්‍රභේද සිග්‍රයෙන් පැතිර යා හැකිය. එන්නත්කරණයට අමතරව පුර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමද අත්‍යවශ්‍ය වෙයි. ඒ වෙනුවෙන් ජනතාව කැප වියයුතු බව විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා අවධාරණය කරයි
එන්නත්කරණ වැඩසටහන රටපුරා සාර්ථකව ක්‍රියාත්මක වෙයි. කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබාදී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව තුන්කෝටි එක්ලක්‍ෂ 90 දහස් 214 කි. එක්කෝටි 59 ලක්‍ෂ 27 දහස් 530 කට පළමු මාත්‍රාව ලබාදී තිබේ. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි 37 ලක්‍ෂ 41 දහස් 194 කි. බුස්ටර් මාත්‍රාව 5 ලක්‍ෂ 21 දහස් 483 කට ලබාදී තිබේ

කොවිඩ් ආසාදිතයන් 745 දෙනෙක් ඊයේ හදුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන පන්ලක්ෂ 63 දහස් 265 දක්වා ඉහළ යයි. කොවිඩ් මරණ 23 ක් ද වාර්තාවේ. ආසාදිතයන් දහදහස් 378 දෙනෙකු ඊයේ පුර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් දහස් හතලිහකි.