සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට සුවහසක් ශ්‍රී ලංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ක්‍රියාත්මක කරන රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.12. 28 දින (අඟහරුවාදා) ප.ව. 7.00 ට කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වේ.

භෞමික රූපවාහිනී විකාශනය ප්‍රතිසම (Analog) ක්‍රමවේදයේ සිට අංකිත (Digital) ක්‍රමවේදය දක්වා ගෝලීය වශයෙන් ගමන් කරමින් සිටින අතර ප්‍රතිසම (Analog)  විකාශන ක්‍රමය වේගයෙන් අඩුවෙමින් පවතී. වර්තමානයේ පවත්නා තාක්ෂණය ක්‍රමයෙන් යල් පිනූ තත්ත්වයට පත්ව විකාශන පද්ධතිය නඩත්තු කිරීම හා ඉහළ යනු ලබන අතිරේක රූපවාහිනී නාලිකා අවශ්‍යතාව සපුරාලීමේ අභියෝගයට මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය මඟින් සාර්ථකව මුහුණ දීමට හැකි වනු ඇත.

තවද ජපාන ණය ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් රජය, විකාශකයින් සහ ප්‍රේක්ෂකයින් යන සියලු පාර්ශවයන් සඳහා ප්‍රතිලාභ ලැබෙනු ඇත.